නව සුළං බලාගාර ඉදි කළ හැකි ස්ථාන ගැන සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – නව සුළං බලාගාර ඉදි කළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි බලධාරීන්ට ඊයේ (02) උපදෙස් දුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම තම්බපවනී සුළං බලාගාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිලධාරීන්ට එලෙස උපදෙස් දුන්නේය.

විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල සැපයුමක් සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2014 වසරේ දී ‘තම්බපවනී‘ සුළං විදුලි බලාගාරයේ ඉදි කිරීම් සැලසුම් කෙරිණ.

ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහ දෙකටම මුහුණ දෙන මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ දිගින් කිලෝමීටර් 13ක් සහ හෙක්ටයාර 150ක භූමි භාගයක් ඒ සඳහා තෝරා ගනු ලැබීය.

උසින් මීටර් 90ක් වන ටර්බයින සහිත කුලුනු තිහක් බලාගාරය සතු වේ. බමන තල (සුළං පෙති) කරකැවීමේ විශ්කම්භය මීටර් එකසිය විසි හයක් වන අතර, කුලුනකින් මෙගාවොට් 3.45ක විදුලිය උත්පාදනයක් සිදු වේ. නඩුකුඩා ග්‍රීන් උප පොළ හා මන්නාරම පුදුකාමන් දක්වා කි.මී. 36ක් දිවෙන සම්ප්‍රේෂණ පද්ධතියක් ව්‍යාපෘතියට අයත්ය. සමස්ථ විදුලි ධාරිතාව මෙගාවොට් 103.5කි. මෙමඟින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 8කට වඩා අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ප්‍රශස්ත විදුලි සැපයුමක් වෙනුවෙන් විශේෂ තාක්ෂණික ක්‍රම රැසක් සහිත පරිසර හිතකාමි, මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මෙය පුනර්ජනනීය විදුලි උත්පාදනයක් කරා යන ගමනේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *