(කොළඹ, ලංකාපුවත්) – ‘අභියෝග ජය ගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යවත් මව්බිමක්’ තේමාව කොට ගත් ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (04) උදේ අභිමානවත්ව පැවැත්වේ.
දශක හතහමාරකට ආසන්න කාලසීමාවක් ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම අභියෝගය වන කොවිඩ් වසංගතය හමුවේ වුව බිඳනොවැටී ධෛර්යයෙන් නැඟී සිටීමට රටක් ජාතියක් ලෙස අප සූදානම් බව මනාව ලොවට ප්‍රදර්ශනය කරමින් මෙවර ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබේ.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියල්ලටම සම්පූර්ණයෙන්ම අනුගතව යුද, නාවික, ගුවන්, පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා, සිවිල් ආරක්ෂක, ජාතික ශිෂ්‍ය භට යනාදි දැයේ මුරදේවතාවුන් බඳු ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් 6,500කට ආසන්න පිරිසකගේ සුරුවිරුකම් ප්‍රදර්ශනය කරමින් පෙළපාළිය පැවැත්වේ. එවැන්නක් පැවැත්වීම තුළින් අභියෝග ජය ගනිමින් පෙරටත් වඩා ශක්තිමත්ව ජාතියට නව ප්‍රාණයක් එක් කරලමින් නැඟී සිටිය හැකිය යන පණිවිඩය මෙයින් දෙනු ඇත.
වසර 2,500කට වඩා පැරැණි ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස අප අතීතයේ පටන් නොනසා ආරක්ෂා කර ගනිමින් පෙරට ගෙනවිත් තිබෙන ආගමික, සංස්කෘතික, සූසැට කලාවන්ගේ මනරම් ඉදිරිපත් කිරීම් රාශියක් ද මෙවර උලෙළට එක්කොට ඇත. මනරම් කලාවන්ගෙන් ජාතිය හමුවේ ලබන නව ජවය මෙවර වඩාත් අර්ථාන්විතව ඉදිරිපත් කරනු ඇත.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය නියෝජනය කරනු ලබන්නෝ ප්‍රධානව දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් 2,500කට මේ අභිමානවත් උලෙළ සඳහා එක් වෙන ලෙස ආරාධනා කොට තිබේ.
එළැඹෙන වසරේදී 75 වැනි අභිමානවත් ජාතික නිදහස් දින උලෙළ ඉලක්ක කර ගනිමින් රට පුරා පැළ ලක්ෂ 75ක් රෝපණය කිරීමේ සත්කාරය ද අද දින ආරම්භ කරනු ඇත. ජාතික නිදහස් දින උලෙළට සමගාමීව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සර්ව ආගමිකයන්ගේ ආශිර්වාදාත්මක වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
මෙවර අභිමානවත් ජාතික නිදහස් උලෙළ සඳහා පාසල් දූ දරුවන්, සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කරන මනරම් නැටුම් ගැයුම් එක් කර තිබෙන අතර, එය ජාතියේ ප්‍රෞඪත්වය, අභිමානය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ප්රතාපවත් ලෙස විදහා දැක්වීමක් වනු ඇත.