එකිනෙකාට ගරු කරමින් නිදහසේ අරුත පුළුල් කර ගනිමු – අගමැති මහින්ද රාජපක්ෂ

(කොළඹ, ලංකාපුවත්) – එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

දැන් එළැඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයක්. ශ්‍රී ලාංකිකයන් අභිමානයෙන් සමරනු ලබන 74 වැනි ජාතික නිදහස් දිනය උදා වී තිබේ. ඉතිහාසය පුරාම නිදහස දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි සැම විවිධ කැපකිරීම් කළෙමු.අධිරාජ්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීම උදෙසා කළ එවන් අරගල යුද ශක්තියෙන් ද දේශපාලන ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද ක්‍රියාත්මක විය. ‍

ලේ බිඳක්වත් නොහෙළා යටත් විජිත නිදහස උදාකර ගැනීම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම නායකයකුම ජාති ආගම් හා පක්ෂ පාට භේද තොරව එදා එකාවන්ව සටන් කිරීමේ ප්‍රතිඵලයකි.

74 වසරකට පෙර ලැබූ එම නිදහසේ සැබෑ ආස්වාදය අභ්‍යන්තර අරගල සහ දශක තුනක ත්‍රස්තවාදී යුද්ධය නිසා මෙරට ජනතාවට අහිමි විය. විරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීමට නායකත්වය දෙමින් මීට වසර 13කට පෙර යුද්ධය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් නැවත උරුම කර දීමට අපට හැකි විය.

අප උදා කළ ඒ නිදහස නැවත අභියෝගයට ලක් වෙමින් තිබියදී රටේ පාලනය නැවත භාර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කළ අපි ලෝක වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු මිනිස් ජීවිත සහ ආර්ථිකය නඟි සිටුවීමේ දැවැන්ත අරමුණ ජයගැනීමට පෙළ ගැසී සිටිමු.

මෙම පීඩාකාරී වසංගත තත්ත්වයෙන් ජීවිත නිදහස් කොට ආරක්ෂා කිරීමේ රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට ලෝක මට්ටමේ ඇගයීමට ලක් වීම අපි සියලු දෙනා රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.

ජාතික නිදහස් දිනය සමරන අද දිනයේ අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ දෑ හිත කාමී සියලු විරුවන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක උදාව වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට අපි එක්ව නිදහස අර්ථ ගන්වමු.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *