ප්ලාස්ටික් නිසා සිදුවන සාගර දූෂණය අවම කිරීමට හේමාස් සමූහය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් ට්‍රාන්ස්පෝටේෂන් පුද්. සමාගම [Hemas Transportation Pvt Ltd] සහ එවර්ග්‍රීන් මෙරීන් (හොංකොං) සමාගම [Evergreen Marine (Hong Kong) Limited] අතර හවුල්කාරීත්වයක් වන එවර්ග්‍රීන් ෂිපින් ඒජන්සි ලංකා (පුද්.) සමාගම [Evergreen Shipping Agency Lanka (Pvt) Ltd], ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම හවුල්කාරීත්වය යටතේ ගාල්ල සමනළ ඇළ මාර්ගයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට බැහැර වීමට ඉඩ නොදී පාවෙන කසළ දැලක් ලෙස ක්‍රියා කරන “සමුද්‍රීය පෙරනයක්” (Ocean Strainer) ස්ථාපනය කිරීම සහ, පරණම්බලම සහ ලුණුපොකුණ වෙරළ තීරයන්හි වෙරළ ආරක්ෂණ (Beach Caretaker) ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට එවර්ග්‍රීන් ලංකා සමාගම කටයුතු කරනු ඇත.

මෙම හවුල්කාරීත්වය, ත්‍රිවිධාකාර වූ ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාවට ආවේණික ජීවීන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් හේමාස් සමූහයේ පාරිසරික න්‍යාය පත්‍රයට අනුකූල පියවරක්ද වේ. ප්ලාස්ටික් වගකීම්සහගත ලෙස භාවිතා කිරීම හා බැහැර කිරීම, පරිසර පද්ධති රැකගැනීම සහ ස්වාභාවික සම්පත් රැකගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් ප්‍රධාන අංග වී තිබේ.

“ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපගේ සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අප සමූහයේ පාරිසරික න්‍යාය පත්‍රයට අනුව, පරිසරයට හානිකර වන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීම්සහගත ලෙස බැහැර කෙරෙන පසුබිමක් නිර්මාණය කිරීමටත් අප කැප වී සිටිනවා. රට පුරා ප්‍රජාවන් විසින් පරිසරය වෙත බැහැර කරනු ලබන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ අපගේ ප්ලාස්ටික් පියසටහන අවම කිරීම ඉලක්ක කරගෙන දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාවට නංවමින්, රට තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ පළමු පියවර මෙයයි.” හේමාස් හෝල්ඩින්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

ප්‍රජාව මූලික කරගත් සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නංවමින් සහ, එම වැඩසටහන් වලට දායක වන පුද්ගලයන්ට විශ්වාසනීය ආදායම් මාර්ග සලසා දෙමින්, රටේ වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම වෙරළ ආරක්ෂණ (Beach Caretaker) වැඩසටහනේ මූලික ඉලක්කය වේ. මෙමගින් ටොන් 5 ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එය දැනටමත් විවිධ බලපෑම් හා තර්ජනයන්ට ලක්වී ඇති සමුද්‍රීය පරිසර පද්ධති සංරක්ෂණ කිරීමට මහඟු පිටිවහලක් වනු ඇත.

“ශ්‍රී ලංකාව යනු සරුසාර ජෛව විවිධත්වයක් සහ සමුද්‍රීය පරිසර පද්ධති සහිත රටක්. එහෙත් අවාසනාවකට මේ සියල්ල ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය හේතුවෙන් තර්ජනයට ලක් වී තිබෙනවා. රටේ සියලුම ප්‍රජාවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවස්ථාව උදාකර දීමට කැපවුණු වගකීම් සහගත සමාගමක් ලෙස, රටේ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදිය යුතු බව අපට පෙනී ගියා. පරිසර පද්ධති හා ජල මූලාශ්‍ර සමබරව පවත්වා ගැනීමට සහ දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් අවම කිරීමට නම්, සාගරය පිරිසිදුව හා යහපත්ව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මෙම වැඩසටහන් ඔස්සේ, සාගරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම අපගේ අරමුණයි.” හේමාස් හෝල්ඩින්ස් හි ප්රවාහන අංශයේ ප්‍රධානී මුෂින් කිචිලාන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900 ක් පමණ බැහැර කෙරේ. මෙම ප්ලාස්ටික් සාගරයට එකතු වීමට පෙර නවත්වා, ඒවා ජලයෙන් ඉවත් කිරීමට ‘සමුද්‍රීය පෙරන’ (Ocean Strainer) කසළ දැලට හැකියාව ඇත. MAS සමූහ ව්‍යාපාරය විසින් සංකල්පගත කර නිර්මාණය කරන ලද මෙය, මුල්ම වරට 2020 වසරේදී දෙහිවල ඇළ මාර්ගයෙහි සවිකරන ලදි. එම වසරේදී පමණක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 67,000 ක් සාගරයට එකතු වීමට පෙර ඉවත් කිරීමට මෙම කසළ උගුල සමත් විය. ගැටලු විසඳීම සඳහා නිර්මාණශීලීත්වයේ සහ සාමූහිකත්වයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටින MAS සමූහ ව්‍යාපාරය, ‘Ocean Strainer’ සම්බන්ධයෙන් උනන්දු වෙන ඕනෑම කෙනෙකුට එම තාක්ෂණය භාවිතා කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවස්ථාව ලබාදෙන බව 2021 වසර ආරම්භයේදී නිවේදනය කළේ ය.

‘පවුල් වලට සෞඛ්‍යසම්පන්නව ජීවත් වීමට අත්වැලක් වීම’ යන මූලික අරමුණ පෙරදැරිව, 1948 වසරේදී හේමාස් සමාගම ආරම්භ විය. මෙම සරල විශ්වාසය, පසුගිය වසර 70 ක කාලය පුරා එම සමාගමේ වර්ධනයට පාදක වී තිබේ. වර්තමානයේදී හේමාස් සමාගම තම පාරිභෝගික සන්නාම, සෞඛ්‍ය සේවා හා ප්‍රවාහන විසඳුම් සමගින් එම මෙහෙවර යළි යළිත් ඉටුකරමින් සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය සාමාජිකයෙකු වන හේමාස් සමාගම මේ වනවිට බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරය යන රටවලටද තම මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර තිබේ. ඉදිරියේදීත් විවිධත්වයෙන් සපිරි හා උද්යෝගීමත් මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කරමින්, අර්ථවත් නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දෙමින්, විශ්වාසනීය සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, සැමට එකසේ සලකන වඩාත් සාධාරණ වූ ලෝකයක පුරෝගාමීන් බවට පත්වෙමින්, තම සියලුම හවුල්කරුවන් වෙනුවෙන් සාධනීය වූ ප්‍රතිලාභ අත්කර දීම සමාගමේ පරමාර්ථය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *