භාරත සිනමාවේ විශිෂ්ටතම ගී හඬ ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි.

කොවිඩ් – 19 හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය බරපතල වීම නිසා මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේ දී ඇය මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 92කි. ඇය ජනප්‍රිය වූයේ ‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙසිනි.

මේ අතර ලතා මංගේෂ්කාර්ගේ අභාවය ගැන අසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ‘දැඩි කනස්සල්ලට’ පත් වූ බව සදහන්වේ.

ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කර තිබේ. භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.

1929 දී උපත ලද ලතා මංගේෂ්කාර්, සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ අතර, ඔවුන් අතර ගායිකා ආශා බෝන්ස්ලේ ද ඇයගේ සහෝදරියකි.

ඔවුන්ගේ පියා ශාස්ත්‍රීය සංගීතඥ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර් වූ අතර ඔහු තරුණ ලතා මංගේෂ්කාර්ට පළමු සංගීත පාඩම ලබා දුන්නේය. 1942 දී, ඇගේ පියා මිය ගිය විට, 13 හැවිරිදි ලතා මංගේෂ්කාර්, මරාති චිත්‍රපටවල රංගන කොටස් සමඟ ගායනයන් ඉදිරිපත් කරමින් සංගීතයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. 1945 දී මධුබාලා රඟපෑ ‘මහල්‘ චිත්‍රපටයේ ආයේගා ආනේවාලා… ගීතයෙන් මංගේෂ්කාර්, මුල් කාලයේ ජනප්‍රිය විය. එතැන් සිට ලතා මංගේෂ්කාර්ගේ හඬ සමග සිය වෘත්තීය ජීවිතය උපරිම මට්ටමට නැඟී ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *