මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටී සිටි කුඩා දරුවා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝවේ කඳුකර ප්‍රදේශයක පිහිටි පටු එහෙත් ගැඹුරු ළිඳකට වැටී සිටි පස් හැවිරිදි දරුවා මියගොස් තිබේ.

දින 04කට වැඩි කාලයක් අඩි 104ක් පමණ ගැඹුරැති ළිඳක ‘රයන්‘ නැමැති මෙම දරුවා සිරවී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දරුවා පසුගිය අඟහරුවාදා සවස මෙම අනතුරට මුහුණ පා තිබුණී.

ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදුකළේය. ඒ අනුව පසුගියදා(05) අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව මොරොක්කෝ රජය නිවේදනය කර ඇත.

මුදා ගත් සැනින් දරුවා රෝහල්ගත කර ඇතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

දරුවා නළ ලිං කුහරය තුළට ඇදවැටී තිබුණේ සිය පියා සහ මව සමග ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවේදීය. දරුවා තමන් දෙදෙනාගේ අවධානයෙන් මොහොතකට මිදුනු සැනින් ළිං කුහරය තුළට ඇදවැටී ඇති බව මව්පියන් මාධ්‍ය වෙත පවසා තිබුණි.

මීටර් 45 කට වඩා ගැඹුරු පතුලක් ඇති එම නළ ලිං කුහරයේ මීටර් 32 ක් පමණ ගැඹුරේදී දරුවා සිරවී තිබුණි. දරුවා නළ ලිං කුහරය තුලට ඇදවැටී ඇති බව මව්පියන් අනාවරණ කර ගෙන තිබුණේ ඔහුගේ හැඩීම නළ ලිං කුහරය තුළින් ඇසීමත් සමගය.

රයන් මුදා ගන්නා තෙක් විශාල පිරිසක් නළ ලිං කුහරය ආසන්නයේ එක්රැස්වි සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *