දස හැවිරිදි දරුවාගේ දිවි අහිමි කළ මිත්‍යා විශ්වාසය

(කොළඹ, ලංකාපුවත්) – බඩල්ගමුව පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ, නිවසකින් ඊයේ(09) සවස් කාලයේ සැකසහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයක දී එම නිවසේ කාමරයක් තුළ 10 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් සිටිය දී සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ, අදාළ දරුවා පසුගිය 7වනදා උගුරේ සෙම සිරවීමකින් අසනීප වී ඇති බවත් පසුව එම අසනීපය සුව කරගැනීමට දෙමාපියන් විසින් ඔවුන්ගේ ආගමට අනුව යාච්ඤා කිරීම් සිදුකර තිබෙන බවයි.

එම යාච්ඤාව සිදුකරන අතර තුර දරුවා මියගොස් තිබේ.

තවදුරටත් දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීමට නොකඩවා දෙමාපියන් විසින් යාච්ඤා කර ඇති අතර, කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දරුවාගේ මියයෑම හේතුවෙන් නිවසේ සිටි මව, පියා සහ නිවසේ සිටි මිත්තණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගමුව පොලීසිය විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *