(කොළඹ, ලංකාපුවත්) – රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (17) උපදෙස් දුන්නේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයන බව ජනාධිපතිවරයා කියා සිටියේය. හෙද විශ්වවිද්‍යාලය ඇරැඹීම, දෙවැනි ශ්‍රේණියේ සිට පළමුවැනි ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් කිරීම, පැය 36ක්ව පවතින රාජකාරි කාලය සතියට දින 5ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට දෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කෙරිණ.
උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කර ගෙන යෑමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නේය.
අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරැඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා පැවසීය.
II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් කිරීමටත් නිල ඇඳුම් දීමනාව දීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් දීමට පියවර ගැනිණ. එක් පිරිසකට ඉල්ලීම් දීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරති. එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලු දෙනා අවබෝධ කර ගත යුතු කරුණක් බවත් එම නිසා සමස්ථ රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමඟ සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අය වැය අධ්යක්ෂ ජෙනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් හිරන්සා කලුතන්ත්‍රී, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.