ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගතිය අගමැති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික සහ ආංශික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සහය වෙමින් රටේ සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා මාර්ගෝපදේශයන් සපයන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින සිය අමාත්‍යාංශයට ගොස් නිලධාරින් සමඟ එහි ප්‍රගතිය විමසා බැලුවේය.

රටේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරගැනීම සඳහා සියලු දෙනා එක්ව ඵලදායී සැලසුම් සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ගෙන් එක් එක් ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා සිටියේය.

ඇතැම් දෙපාර්තමේන්තු වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පවතින ගැටලු පිළිබඳව අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු ආයතන ප්‍රධානීහු මෙහිදී අග්‍රාමාත්‍යතුමා වෙත කරුණු පැහැදිලි කළහ.

රජයේ සංවර්ධන කටයුතු කඩිමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවේ පවතින සුදුසුකම්ලත් නිලධාරීන්ගේ හිඟය ගැටලුවක් වී ඇති බව මෙහි දී අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා සහ රජයේ ප්‍රධාන තක්සේරුකරු ඩී.එන් මුතුකුමාරණ මහත්මිය පෙන්වා දුන්හ.

මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා සුදුස්සන් හැකි ඉක්මනින් බඳවා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ නිලධාරින් දැනුවත් කිරීමට උපදෙස් දුන්නේය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ජන හා නිවාස සංගණය පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

ඩිජිටල්කරණය ඔස්සේ සිදුවන මෙම සංගණනය අදියර තුනකින් සමන්විතය. එහි පළමු අදියර සාර්ථකව අවසන් කර ඇති බවත් ඉතිරි අදියරයන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගත යුතු බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී අනුර කුමාර මහතා පැවසීය.

නවීන තාක්ෂණයට අනුගත වෙමින් ජනතාවගේ තොරතුරු වල නිරවද්‍යභාවය හා විනිවිදභාවය ඇති කරගැනීම සඳහා සංගණනයේ ඇති කාලීන වටිනාකම ගැන අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා එය ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, රජයේ ප්‍රධාන තක්සේරුකරු ඩී.එන් මුතුකුමාරණ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී අනුර කුමාර මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *