ශ්‍රී ලාංකේය දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ඇතිකිරීමට ඇට්ලස් ඉටුකළ මෙහෙවර උදෙසා SLIM සම්මානයකින් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ඇට්ලස් අඛණ්ඩව දෙවැනි වරටත් SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය.

Covid-19 ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටි සමයක, ළමුන් 480,000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයන් හා අවස්ථා ලබාදීම සඳහා 2021 මුල්‍ය වර්ෂය තුළ ගත් කැපීපෙනෙන උත්සාහය වෙනුවෙන් ඇට්ලස් සන්නාමය මෙලෙස ඇගයීමට ලක් විය.

මෙම කාලසීමාව තුළදී, අධ්‍යාපනය නොකඩවා පවත්වා ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරීමට දෙමාපියන්ට සිදු වූ අතර, සීමිත සම්පත් සමග නව ක්‍රමවේදයන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු පවත්වා ගෙන යාමට ගුරුවරුන්ට සිදු විය. මෙවැනි තත්වයක් හමුවේ අධ්‍යාපනඥයන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් බලධාරීන් සමග එක්ව, මෙම බාධාවන් ජයගැනීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට ඇට්ලස් සන්නාමය කටයුතු කළේ ය.

“සෑම දරුවෙකුටම අධ්‍යාපනය සඳහා සමාන අවස්ථාවන් පැවතීම ඉතාමත් වැදගත්. එම නිසා දරුවන් 480,000 කට, ගුරුවරුන් 5,500 කට සහ දෙමාපියන් 175,000 කට අධික පිරිසකට යහපතක් සිදුවන ආකාරයට මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙවැනි අභියෝගාත්මක කාලයක් තුළ, දරුවන්ට ඉතාමත් පහසුවෙන් එක් ශ්‍රේණියක අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරමින් ඊළඟ ශ්‍රේණියට පිවිසීමට අවස්ථාව ලබාදීමට අප පියවර ගත්තා. අපගේ උත්සාහයන් මෙතැනින් නතර වන්නේ නැහැ. ඉදිරියේදී නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්, රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය විනෝදමත් හා ඵලදායී අත්දැකීමක් බවට පත්කිරීමේ උත්සාහය අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසීය.

පසුගිය වසර තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් අතිශයින් කාලෝචිත වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට ඇට්ලස් සන්නාමය කටයුතු කළේ ය. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළදී දරුවන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාගනිමින්, මාර්ගගත අධ්‍යාපනය විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ගුරුවරුන් වෙත ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට මෙන්ම අනෙකුත් ශ්‍රේණි වල දරුවන්ටද වැදගත් වන පාඩම් රාශියක් නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දීමට සහ, සංචරණ සීමා පැවති කාලය තුළ දරුවන්ගේ උද්‍යෝගය පවත්වා ගැනීම සඳහා ‘Learn Creative Skills with MyCrafts’ වැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ඇට්ලස් සන්නාමය කටයුතු කළේ ය. තවද පාසල් විවෘත කළ පසු සෞඛ්‍ය විධිවිධාන නිවැරදිව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ‘Safety in Back-to-School’ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.

“වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට මා ස්තූතිවන්ත වෙනවා. මෙය අපගේ දේශය සහ එහි දරුදැරියන් වෙනුවෙන් ඇට්ලස් සිදුකරන මෙහෙවර උදෙසා ලැබුණු ඇගයීමක් ලෙස අප සලකන අතර, ඉදිරියේදී මෙම සත්කාරයන් තවදුරටත් පුළුල් කිරීම අපගේ බලාපොරොත්තුවයි. රටේ දරුවන් මිලියන ගණනකගේ හදවත් වලට සමීප සන්නාමයක් වශයෙන්, ඔවුන්ගේ පාසල් ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වීමට සහ, ඔවුන්ගේ අධ්‍යාපන ගමනේ සෑම අදියරකම ඔවුන් ළඟින්ම සිටීමට හැකිවීම ගැන අප සැබැවින්ම ආඩම්බර වනවා.” අසිත සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

ඇට්ලස් ඇක්සිලියා (පුද්.) සමාගම 1959 වසරේදී ආරම්භ වූයේ සිලෝන් පෙන්සිල් කම්පනි (පුද්.) සමාගම යන නමින් වන අතර, මේ වනවිට එම සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදක සමාගමක් බවට පත්වී ඇත. ඉගෙනුම විනෝදමත් අත්දැකීමක් බවට පත්කිරීමේ අරමුණ මුල්කරගත් ඇට්ලස් සන්නාමය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී තිබේ. ඒ නිසාම එම සමාගම 2021 වසරේදී අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස People’s Choice සම්මාන දිනාගත් අතර, ජාතික තත්ත්ව සම්මානය (2018), සහ Global Performance Excellence සම්මානය (2019) ඇතුළු තවත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රාශියකින්ද පිදුම් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *