විදුලි කප්පාදුව 5 දා සිට නතර කළ හැකියි – මුදල් ඇමැති

(කොළඹ, ලංකාපුවත්) –දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව මාර්තු මස 05 වැනිදා සිට නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පෙරේදා (28) ප්‍රකාශ කළ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

රට හමුවේ ඇති සියලු අර්බුද මාර්තු මාසය නිමා වීමට පෙර අවසන් කළ හැකි බව ප්‍රකාශ කර ඇති මුදල් අමාත්‍යවරයා එතෙක් ඉවසිල්ලෙන් යුක්තව කටයුතු කරන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය මඟින් පැවති කැබිනට් හමුවේදී ප්‍රවාහන, විදුලි, ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු බවත් එම ප්‍රකාශකයා කීවේය.

ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණපා සිටින ඉන්ධන හිඟයට පිළියමක් කඩිනමින් දිය යුතු බව ප්‍රකාශ කර ඇති මුදල් අමාත්‍යවරයා දුම්රිය සහ බස් රථවලට අවශ්‍ය ඉන්ධන සෘජුව ආනයනය කිරීමේ අවස්ථාව සලසා දීමට අවධානය යොමුව ඇති බවත් පවසා තිබේ.

මඟී ප්‍රවාහනයට පහසුකම් සැලසීමේ අරමුණෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලටද ඉන්ධන දීමට අවධානය යොමුව ඇති බවත් මඟී ප්‍රවාහන බස් රථවලට භූමිතෙල් භාවිත කිරීම වැළැක්වීමට ද එය හේතු වනු ඇති බවත් පැවසූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *