බෙලරුසයේ ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා පැමිණිය හැකියි

(කොළඹ, ලංකාපුවත්) – යුක්රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

බෙලරුසයට සමගාමීව අක්ත ගන්වන ලද මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන විදේශ අමාත්‍යාංශය, යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනකු පමණ උසස් අධ්‍යාපනය ලබන, බෙලරුසයේ පිහිටි සියලු විශ්වවිද්‍යාල සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප සබඳතා පවත්වන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ විශ්වවිද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ දෙමාපිය කණ්ඩායම් සමඟ පැවැත්වූ සාකච්ඡා කිහිපයක දී එකඟ වූ පරිදි, මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවද එම අමාත්‍යාංශය කියයි.

මීට අදාළව බෙලරුසයේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එවැනි සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස උපදෙස් දී තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා +79801445726 දුරකතන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය (24×7) ඔස්සේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස ද ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *