(කොළඹ, ලංකාපුවත්) – රටෙහි වත්මන් ඩොලර් අර්බුදය දේශිය ආර්ථිකයක් ගොඩනැගිම සඳහා අවස්ථාවක් කර ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ඒ තුළින් රටේ ආර්ථිකය ගොඩනගා ගත හැකි බවද ආණ්ඩුකාරවරිය කීවාය.
ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ අද(10) පෙරවරුවේ පැවති උත්සවයකදී ඇය මේ බව කියා සිටියාය.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.
“අද රටේ ඩොලර් හිගයක් තියෙනවා ඒක හංගන්න දෙයක් නෑ හැබැයි අපිට පුළුවන් මේ ඩොලර් අර්බුදය දේශිය ආර්ථිකයක් ගොඩනැගීම සදහා අවස්ථාවක් කර ගන්න. අපි මෙච්චර කල් ඩොලර් වියදම් කරේ විදේශිය නිෂ්පාදන අපේ රටට ගෙන්නගන්න. ඒකෙන් වුණේ අපේ දේශිය නිෂ්පාදන බොහෝමයක් කඩා වැටුණු එක. දැන්වත් අපි ඒක තේරුම් ගත යුතුයි. අපේ රටේ පළතුරු ගස් වල කුණු වෙන කොට අපි විදේශ රට වලින් එන ඇපල් දොඩම් දිහා බලාගෙන ඉන්නවා. අපේ රටේ හදන මුං ඇට ටික කවුපි ටික විකුණ ගන්න බැරුව හේන් වල ගොවියෝ දුක් විදිනවා. එහෙම තියෙද්දිත් පිටරටින් පරිප්පු ආනයනය කරනවා .දැන්වත් මේ ක්‍රමය නතර කරලා අපේ දේශිය නිෂ්පාදන දියුණු කරන්න මේ ඩොලර් අර්බුදය අවස්ථාවක් කර ගන්නැ”යි ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.