වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනයේ මූලික පනත් කෙටුම්පත පිළිගැන්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා සකස් කළ මූලික පනත් කෙටුම්පත එහි මෙහෙයූම් කමිටූව විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද(10) පිළිගන්වනු ලැබිණ.

නූතන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ උසස් මාධ්‍ය කලාවක් මෙන්ම ගෞරවනීය මාධ්‍යවේදීන් බිහිකිරීමේ අරමුණින් මෙම ආයතනය පිහිටුවීමට නියමිතය.

වෘත්තීය නිපුණත්වයෙන් හෙබි මාධ්‍යවේදීන් බිහිකිරීම කිරීම සඳහා මෙතෙක් අඩුවක්ව පැවති ප්‍රමිතිගත ආයතනයක අවශ්‍යතාව මෙම ආයතනය ආරම්භ කිරීමෙන් සම්පූර්ණවනු ඇත. ඒ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙම කෙටුම්පත සකස් කිරීම පිළිබඳව කමිටු සාමාජිකයින් වෙත ඇමතිවරයා කෘතඥතාවය පළ කළේය.

මෙම ආයතනය ආරම්භ කිරීමෙන් පසු ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලයක මාධ්‍ය පාඨමාලාවකට එහා ගිය ප්‍රායෝගිකත්වයෙන් පූර්ණ වූ උපාධි පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක් හැදෑරීමේ අවකාශය හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *