සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය වසර ගණනාවකට පසු යළි ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –”උසස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක්ම නොවේ. පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බලාපොරොත්තුවෙන් හෝ අධ්‍යාපනය සඳහා තබන ඕනෑම පියවරක් උසස් අධ්‍යාපනය විදිහට හඳුන්වන්න පුළුවන්.ඒ සඳහා දරුවන් තුළ තිබෙන කැමැත්ත, දක්ෂතාවය මත දරුවන්ට තෝරා ගැනීම් කරමින් ඔවුන් කැමති ක්ෂේත්‍රයකින් වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සළසා දීම සඳහා අමාත්‍යාංශයක් ලෙස අප සූදානම්ව සිටිනවා” නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.

රාජ්‍ය ඇමතිවරිය මේ බව පැවසුවේ අනුරාධපුර, සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය වසර ගණනාවකට පසු නැවත ආරම්භ කරමින් නවක සිසුන් බඳවා ගැනීම වෙනුවෙන් පසුගියදා (16) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

මෙම නවක සිසුන්ට සුදුසුකම් සහිත සහතිකයක් ලබා දීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරිය වෙත කරන ලද ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඇයගේ උපදෙස් පරිදි ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කෙරුණි.

ඒ අනුව සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කරන සිසුන් හට අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන ජාතික උසස් ඩිප්ලෝමා සහතිකය (NVQ – 6) හිමි වේ. මීට අමතර නව විෂය නිර්දේශ එක් කරමින් මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පැවැත්වීමට කටයුතු සැළසුම් කර තිබේ.

සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේරසිංහ මහතා, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, අමාත්‍යංශයන්හි අතිරේක ලේකම්වරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *