‘හුස්ම දෙන තුරු‘ වැඩසටහනට වසරයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම පිණීස ආරම්භ කර තිබෙන ‘හුස්ම දෙන තුරු‘ රුක් රෝපණ වැඩ සටහනට වසරක් සපිරීම නිමිත්තෙන් සඳුන් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් අද(21) ආරක්ෂක මූලස්ථාන පිවිසුම අසළ දී සිදු කෙරිනි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නිලධාරිහු මෙන්ම යුද හමුදා මූලස්ථානයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා –

ලෝක වනාන්තර දිනය අද දිනට (21) යෙදී තිබෙනවා. මෙවර එම දිනයේ තේමාව වන්නේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය, සුවය හා එහි පැවැත්ම සඳහා මාවතක් යන්නයි. සෑම වසරකම මාර්තු මස 21 දින ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලද්දේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් 2012 වසරේ සිටයි. ශ්‍රී ලංකාව 2014 සිට එම දිනය සමරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද හුස්ම දෙන තුරු වැඩ සටහනට වසරක් සපිරීම නිමිති කොටගෙන අද මෙම වැඩ සටහන අරඹනවා.

පසුගිය වසරේ අද වැනි දිනක තමයි හුස්ම දෙනතුරු වැඩ සටහනේ පළමු පැළය මෙම ස්ථානයේම ජනාධිපතිතුමන් විසින් රෝපණය කළා. පසුගිය වසරේ කොවිඩ් නිසා අපිට එම දිනය තුළ දීම අදාල වර්ෂ පූර්ණ උත්සවය සමරන්නට නොහැකි වුනා.

ලංකාවේ වන ආවරණය මේ වනවිට සියයට 29.02ක්. 2030 දී එය සියයට 30ක් දක්වා වර්ධනය කර ගැනීමට නම් අප රට තුළ හෙක්ටෙයාර් 65000ක් අලුතින් වන වගාව සිදු කළ යුතුයි. වනවගාව පිළිබඳ වගකීම ඝෘජුවම පරිසර අමාත්‍යාංශයට නොපැවරුණත් අපි එම වගකීමට උර දී කටයුතු කරනවා. හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන සඳහා අප විසින් මෙම වසරට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙම වැඩ සටහන සඳහා පූර්ණ දායකත්වය පළ කළ ශ්‍රී ලංකා යුද හමුදාවට මම මගේ කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම යුද හමුදාව සමග මම වැඩ සටහන් රැසක් සිදු කර තිබෙනවා. ඒ සියල්ලම සාර්ථක කර ගැනීමට හැකි වුනේ යුද හමුදා නිලධාරින්ගේ අප්‍රතිහත කැපවීම නිසා බවද මම සඳහන් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *