ආර්ථිකය ගොඩගන්න ආර්ථික සභාවට යෝජනා 05 ක්

(කොළඹ, ලංකාපුවත්) –උද්ගතව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා ජාතික ආර්ථික සභාවට සහාය වීමට පත් කෙරුණු උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඊයේ (21) ඉදිරිපත් කළේය.

ජාතික ආර්ථික සභාව සමඟ උපදේශක කමිටුවේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති අතර එහිදී මෙම යෝජනා මාලාව ඉදිරිපත් කෙරිණි. අන්තර්ජාතික මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා මහ බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම එම යෝජනාවලියේ පළමු යෝජනාව වේ.

එසේම මූල්‍ය උපදේශකයකු සහ නීති උපදේශකයකු වහාම පත් කළ යුතු බවටත් උපදේශක කමිටුව යෝජනා කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.

මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනා ගැනීම සහ සැපයුම් අවහිරතා මඟ හරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානයට යොමු කිරීම සෙසු යෝජනා වේ.

ආර්ථිකය ස්ථාවර කිරමින් නිවැරැදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීනව පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබේ. විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛය. මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයක දී මඟහරවා ගත හැකි බව උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි. අග්‍ර­ාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *