ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍ර ත්‍රිත්වයකට අද(23) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

මේ අනුව ඉඩම් සංවර්ධන ආඥාපනතට අනුව ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලද, 2021 ඔක්තෝබර් 28 දිනැති අංක 2251/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි ද 2022 ජනවාරි 15 දිනැති අංක 2262/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි ද මෙම ගැසට්පත්‍ර ද්විත්වයටම අදාළව සිදු කරන ලද සංශෝධන ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සඳහා ද මෙසේ අනුමැතිය හිමිවිය.

2014 වර්ෂයේදී ඉඩම් සංවර්ධන නියෝග මගින් නිර්ණය කර තිබෙන බලපත්‍ර හා දීමනාපත්‍ර නිකුත්කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම සහ 1985 වර්ෂයේ ඉඩම් නියෝග 115 මගින්, ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනාපත්‍රවලට අදාළ ඉඩම්වල අවම බෙදුම් සීමාවන් සංශෝධනය කිරීම මෙම රෙගුලාසි සංශෝධන මගින් සිදුකොට ඇත.

මීට අදාළ ගැසට් පත්‍රවල සබැඳියන් පහත පරිදි වේ.

http://documents.gov.lk/files/egz/2021/10/2251-48_S.pdf

http://documents.gov.lk/files/egz/2022/1/2262-50_S.pdf

http://documents.gov.lk/files/egz/2022/2/2266-05_S.pdf

පාර්ලිමේන්තුව අද පෙ.ව 10.00 ට රැස්වූ අතර පෙ.ව 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් විය. ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා උක්ත දක්වා ඇති ගැසට් පත්‍රවල සදහන් රෙගුලාසි පිළිබද විවාදය පැවැත්විණි.

ඉන්පසු ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්ව තිබිණි. ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් විමසා සිටියේය. එසේම විදේශ ශ්‍රමිකයන්, ඔවුන්ගේ පුහුණු කිරීම් සහ ආරක්ෂාව මෙන්ම විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් විමසන ලදී.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විසින් විශ්‍රාමිකයන්ට හිමි පාරිතෝෂිත දීමනාව, විශ්‍රාම ලබා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්විය. අනතුරුව පාර්ලිමේන්තුව හෙට (24) පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *