මැණික් අපනයනයෙන් ඩොලර් බිලියනයක් ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(23) කොළඹ තැපැල් මූලස්ථානයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළඳපළ වෙත අපනයනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මාර්ගගත ක්‍රමය තැපැල් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව ක්‍රියාවට නංවයි. මේ මඟින් ඇමරිකානු ඩොලර් 3000 ට අඩු වටිනාකමක් ඇති මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත විකිණිමේ අවස්ථාව මැණික් කර්මාන්තකරුවන්ට හිමිවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා,

අද දින දියත්කරන මෙම මාර්ගගත ක්‍රමය හරහා ජාත්‍යන්තර වෙළඳපළට පිවිසීමට වැඩි අවස්ථාවක් උදා වෙනවා. මෙය අප රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක්. වර්තමානයේ අප මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටළුවට හොඳ පිළියමක්. මේවන විට වසරකට ඩොලර් මිලියන 265 ක පමණ අපනයන ආදායමක් තමයි මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ලැබෙන්නේ. නමුත් මෙම online ක්‍රමය භාවිතය හරහා අපගේ මැණික් අපනයනය වැඩිකරගනිමින් මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙනවා.

පසුගිය කොවිඩ් වසංගත සමයේ අපගේ අනිකුත් අපනයන කටයුතු මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ද පසුබෑමකට ලක්වුණා. නමුත් මේ තත්වය දැන් වෙනස් වෙමින් පවතිනවා. අපේ මැණික් වලට ජාත්‍යන්තරයේ ඉතා ඉහළ පිළිගැනීමක් තිබෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් අපේ රටේ පොළව යට ඇති මේ වටිනා සම්පතින් 10% ක ප්‍රමාණයක්වත් තවම අප ප්‍රයෝජනයට ගෙන නැති බවයි. පොළව මතුපිට ඇති වනාන්තර, නගර, ගොඩනැගිලි තිබියදී නවීනතම තාක්ෂණය භාවිතාකොට පොළව යටින් ගොස් මේ වටිනා සම්පත මතුකරගෙන අපේ රටට වැඩිවැඩියෙන් විදේශ විනිමය ගෙන එන ලෙස මම අපේ රටේ මැණික් කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල් රවිප්‍රිය ද අල්විස්, මැණික් අපනයනකරුවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *