ඉන්දීය නාවික හමුදාවේ නවීන සැහැල්ලු හෙලිකොප්ටරයක් ශ්‍රී ලංකාවට පැමිණේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය නාවික හමුදාවේ නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානයක් (Advanced Light Helicopter – ALH) පසුගිය 23වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සඳහා නැව්ගත හෙලිකොප්ටර් මෙහෙයුම් පුහුණුවක් ලබා දීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියේය.

2019 වසරේදී එවකට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බිර් සිං මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් ALH යානය වෙත පුරුදු පුහුණු කිරීම සහ සම ගුවන් නියමු අත්දැකීම් ලබා දීම සඳහා වන මෙම පුහුණුව සතියකට අධික කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ කොටසක් ලෙස අසල්වැසි රාජ්‍යයන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය ගන්නා ප්‍රයත්නයන් අනුව මෙම පුහුණුව ක්‍රියාවට නැංවේ. මෙම පුහුණුව සමීප සහෝදරත්වයක් සහ සමුද්‍රීය මෙහෙයුම් සඳහා මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට ද ඉවහල් වනු ඇත.

ඉන්දීය පුහුණු කණ්ඩායම විසින් 2022 මාර්තු 25 වන දින සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අයුරු ප්‍රදර්ශනය කරන ලදී. මේ සඳහා කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ලසිත සුමනවීර මහතා සහභාගී විය. විවිධ කාර්යයන් ඉටුකළ හැකි හෙලිකොප්ටරයේ විවිධාකර හැකියාවන් මෙහිදී දැකබලා ගත හැකි විය. පුහුණු කණ්ඩායම සතිය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුද නිරීක්ෂණ යාත්‍රාවක් වන සයුරළ නෞකාවේදී ගොඩබෑමේ පුහුණුවීම්වල ද නිරත වීමට නියමිතය.

ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ALH හෙලිකොප්ටරය ඉන්දීය ගුවන් හමුදාවේ “සාරංග්” ගුවන් සංදර්ශන කණ්ඩායම සමඟ පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම සඳහා ද සහභාගී විය. දෙරට හමුදාවන් අතර පවතින මනා අවබෝධය සහ සම්බන්ධීකරණය අසල්වාසී රාජ්‍යයන් දෙක අතර සහශ්‍ර ගණනාවක් පුරා පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *