වසර තිස් දෙකකට පසු මඩකලපුවට සිංහල විද්‍යාලයක්

(කොළඹ, ලංකාපුවත්) – වසර තිස් දෙකකට පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ජීවත් වන සිංහල ජනතාවගේ පැවති දැඩි අවශ්‍යතාවයක් සපුරාලමින් එම දිස්ත්‍රික්කයේ පළමු සිංහල විද්‍යාලය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.

මීට පෙර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් 17ක් පැවති අතර යුධමය වාතාවරණය හේතුවෙන් එම සිංහල පාසල් සියල්ලම වැසී ගොස් තිබුණි. ඒ අනුව ආණ්ඩුකාරවරියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ කල්කුඩා සිරි සීලාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර නාහිමියන්ගේ මැදිහත් වීමෙන් කල්කුඩා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය නමින් මෙය ආරම්භ කෙරිණි. දැනට එහි සිසුන් හයදෙනෙකු අධ්‍යාපන කටයුතු සහා පැමිණෙන අතර පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණි පැවැත්වේ.

විද්‍යාලයට ඇතුළත් කළ පළමු සිසුන් දෙදෙනා ඇතුළත් කර ගැනීම කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සහ විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා අතින් සිදුවිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය,

“ අවුරුදු 2500ක් පැරණි අපේ ශිෂ්ඨාචාරය ඉස්සරහට ගෙනයන තවත් එක් පියවරක් තමයි අද මේ සිදු වූණේ. අද වනවිට අපිට පුළුවන්කම ලැබුණා අවුරුදු තිස් දෙකකට පස්සේ මඩකලපුවේ පළමු සිංහල විද්‍යාලය ආරම්භ කරන්න. ආණ්ඩුකාරවරියක් ලෙස ඒ උතුම් පිංකමට දායක වෙන්න ලැබීම මා ජීවිතයේ ලද භාග්‍යයක්. මඩකලපුව කවදාවත් සිංහල ජනතාවගෙන් ඈත් විය යුතු නෑ. එක් ජාතියකට පමණක් යම් ප්‍ර දේශයක් සීමා වුණොත් වෙන්නේ බෙදුම් වාදයකට පාර කැපීමක්. අපි අවුරුදු 30ක් ඒකෙන් දුක් වින්දා. මේ පාසල දියුණු කරන්න විතරක් නෙමෙයි පළාත් සභාවක් විදිහට අපට කරන්න පුළුවන් හැම දෙයක්ම මම මේ වෙනුවෙන් කරනවා යැයි” ද කියා සිටියාය.

මේ අවස්ථාවට මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, මාතර බෝධි ආරක්ෂක සභාවේ ලේකම් රොහාන්ත සමරසිංහ, වෛද්‍ය රාණි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *