අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් මෙම කාලය තුල ක්‍රියාත්මකවේ. බස් සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිණිස ජංගම නිරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවනු ලැබේ. අලුත් අවුරුදු සමයේ බස්රථ වල ඇතිවන තදබදය අඩු කරගැනීමට බස් සංචිතයක් පවත්වාගැනීමටත් තීරණය විය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා කොළඹ නගර සභාව යන ආයතනවල උසස් නිලධාරීහූ සහභාගී වූහ.

අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා ක්‍රියාත්මක වේ. කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මගීන්ගේ ආරක්ෂාව, ආහාරපාන හා සනීපාරක්ෂාව ඇතුලු පොදු පහසුකම් නොඅඩුව සැලසීමටද අවධානය යොමුව ඇත. කඩවත, කඩුවෙල බස් පර්යන්තයන්වල හා මාකුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේද මෙම කාල සිමාව තුල ඉහත සේවා සහ පහසුකම් සැපයේ.

දෙවන අදියර යටතේ නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවරඑළිය බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *