ඛනිජ වැලි අලෙවි කිරීම සඳහා නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා(27) පුල්මුඩේ ඛනිජවැලි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අපේ රටේ ඉහළ වටිනාකමක් සහිත ඉල්මනයිට්, රූටයිල් හා සර්කෝන් වැනි ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් විදේශීය රටවලට අපනයන කිරීම නිසා රටට ලැබෙන විදේශ විනිමය ඉතාමත් අවම මට්ටමක පවතී. එමනිසා ලංකා ඛනිජ වැලි අලෙවි කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා ඛනිජවැලි සමාගම පියවර ගෙන ඇතැයි එම සමාගමේ නිලධාරීහු අමාත්‍යවරයාට පැවසූහ.

ඒ අනුව ඉතිහාසයේ මෙතෙක් අලෙවි කළ වැඩිම මිල වශයෙන් රූටයිල් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 1733ක් වශයෙන් ද, ඉල්මනයිට් ටොන් එකක් ඇ. එ. ජ. ඩොලර් 251ක් වශයෙන් හා හයි ටයි ඉල්මනයිට් ටොන් එකක් ඇ. එ. ජ. ඩොලර් 250ක් වැනි මුදලකට ද වශයෙන් අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි ඔවුහු පැවසූහ. මෙහිදී සෑම ටොන් එකකටම සියයට 07කට වැඩි රාජ්‍ය භාගය ද හිමි වන අයුරින් ගිවිසුම් අත්සන් කර තිබේ. මේ නිසා රජයට විශාල ආදායමක් උපයා ගත හැකි අයුරින් නව ක්‍රමවේදය සකස් කර ඇතැයි ද නිලධාරිහු පෙන්වා දුන්හ.

නමුත් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් විදේශ වෙළෙඳපොළට මෙම ඛනිජ සම්පත් අපනයනය කිරීම මගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබේ. රජය විසින් අගය එකතු කළ නිෂ්පාදන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි උපදෙස් ලබා දුන්න ද මෙතෙක් ලංකා ඛනිජවැලි සමාගම විසින් ඒ සඳහා කිසිදු පියවරක් ගෙක නොතිබිනි.

මේ නිසා ඉදිරියේ දී ලංකා ඛනිජවැලි අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීම සඳහා පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී එම සමාගමේ බලධාරින්ට උපදෙස් දුන්නේය.මේ වනවිට ලංකා ඛනිජවැලි සමාගමේ වාර්ෂික ඛනිජ වැලි අපනයනය මෙ. ටොන්. ලක්ෂයක් පමණ වේ. ඒ අතරින් ඉල්මනයිට් මෙ. ටොන් 90,000ක්, රූටයිල් මෙ. ටොන්. 9000ක් හා සර්කෝන් මෙ. ටොන් 5,500 වශයෙන් අපනයනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *