ගෝලීය අර්බුද මැද ආර්ථික වශයෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීමට අන්තර්ජාතික සහ කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය අර්බුද සමඟ එක්ව, නරක අතට හැරෙමින් පවතින ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීම සඳහා අන්තර්ජාතික සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (30) පැවති බිම්ස්ටෙක් පස්වැනි සමුළුවට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

​ප්‍රථම වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන 5 වැනි බිම්ස්ටෙක් සමුළුව සඳහා ඔබව පිළිගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. මෙම සමුළුව සංවිධාන කිරීමට වෙහෙස මහන්සි වූ බිම්ස්ටෙක් මහ ලේකම්තුමා, ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම දෙනාට ස්තූතිය පළ කරනවා. අද අප හමු වන්නේ අප සියලු දෙනාටම අභියෝගාත්මක මොහොතකයි. කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය මේ සියවසේ දරුණුම අර්බුදයකට මුහුණ දී ඇත. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ අහිමි වූ ජීවිත සඳහා මාගේ බලවත් සංවේගය පළ කර සිටිනවා. වසංගතය සියලු ජාතීන්ට දරුණු ලෙස බලපෑවා. බොහෝ රටවලට සැලකිය යුතු ආර්ථික, සමාජීය සහ දේශපාලන වෙනස්කම්වලට මුහුණ දෙන්න සිදු වුණා. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩ බලපෑමක් සිදු කරන අතර ඉහළ යන තෙල් මිල, ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම් ලොව පුරා උද්ධමනය ඇති කර තිබේ. ඉහළ යන ජීවන වියදම සමඟින් ගණනය කළ නොහැකි ව්‍යාපාර සංඛ්‍යාවක් වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විදින අතර, ආර්ථික අවස්ථා පටු වීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩා වැටීම දක්නට හැකි වුණා. මෑත කාලයේ ඇති වූ අනෙකුත් ගෝලීය අර්බුද සමඟ එක්ව, මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම මිලියන ගණනක් දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සෘණාත්මක බලපෑමක් ඇති කර ඇත. මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉදිරි මාස සහ වසරවල අන්තර්ජාතික සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වනු ඇත.

වසංගතයට එරෙහි පූර්ව ක්‍රියාමාර්ග තුළින් විශාල ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වීම, ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. ශක්තිමත් මහජන සෞඛ්‍ය ව්‍යුහය සමඟින්, සමස්ත රජයේ එන්නත්කරණ ප්‍ර වේශය මඟින්, වයස අවු. 12ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් 82%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පූර්ණ වශයෙන් එන්නත්කරණය කර ඇති අතර, 54%ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත. මෙය අපට බොහෝ සමාජ සීමාවන් අවම කර යම් මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ සලසා ඇත. කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම, වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා ඇත. 2020 සහ 2021 වසරවලදී වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමාවන් අපගේ ආර්ථිකයේ සෑම අංශයකටම බරපතළ ලෙස බලපෑවේය. සංචාරක ව්‍යාපාර ආදායම අහිමි වීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අහිමි වීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන්වලට පිරිවැය දැරීමට සිදුවීම සහ වසංගතයෙන් තම ජීවනෝපාය අහිමි වී පීඩාවට පත් වූවන් සඳහා සුභසාධනය සැපයීම, ඉහළ යන ගෝලීය උද්ධමනය සහ අපගේ පැරණි ණය සේවා වගකීම් සමඟ ඒකාබද්ධ වී වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, කාලයක් මුළුල්ලේ අත්හදා බැලූ අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය සහ ප්‍රස්ථතාව සහ අපගේ කලාපීය සහ අන්තර්ජාතික හවුල්කරුවන්ගේ සහයෝගීතාව සමඟ ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරනු ඇතැයි මාගේ විශ්වාස යයි. මෙම ප්‍රයත්නය සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක සහයෝගය මා විශේෂයෙන් අගය කරනවා.

1997 වසරේ එහි ආරම්භයත් සමඟ බිම්ස්ටෙක් කලාපයේ රටවලට එකිනෙකාගේ අත්දැකීම්, ශක්තීන් සහ ප්‍රවීණත්වය බෙදා ගනිමින් එකිනෙකාට සහයෝගය දැක්වීමට වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත. අපගේ කලාපයේ භූ – උපායමාර්ගික වැදගත්කම, ආර්ථික ශක්තිය සහ ලෝක ජනගහනයෙන් 1/5කට වැඩි ජනගහණ සවියක් තිබීම විශේෂයෙන් වැදගත් වේ. සාමාජික රටවල් අතර වර්ධනය කළ සහයෝගීතාව ආර්ථික නඟාසිටීම සඳහා පමණක් නොව, වැඩි ආර්ථික සමෘද්ධියක්, වඩා හොඳ මහජන සෞඛ්‍යයක් සහ දිගුකාලීනව ඇති කලාපීය ප්‍රත්‍යස්ථතාව වර්ධනයට උපකාරී වේ. මෙම සමුළුව සඳහා තෝරාගත් තේමාව තුළ මෙම අභිලාෂයන් මනාව පිළිබිඹු වේ. ප්‍රත්‍යස්ථ කලාපයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් යන මෙම වටිනා අභිලාෂයන්, අර්ථාන්විත අන්තර් කලාපීය සහයෝගීතාවක් තුළින් අප සාක්ෂාත් කරනු ඇතැයි මා උපරිම විශ්වාසයක් ඇත. අද දින අත්සන් කළ බිම්ස්ටෙක් ප්‍රඥප්තිය, කලාපය තුළ පමණක් නොව ගෝලීය කටයුතුවලදී ආසියාවේ ගාමක බලවේගයක් ලෙස මෙම සංවිධානයේ කාර්යභාරය ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් වනු නොඅනුමානය.

බෙංගාල බොක්ක කලාපය ගෝලීය සම්බන්ධතා හා වෙළෙඳාම සඳහා අතිශය වැදගත් වී ඇත. මෙම ජලය හරහා ගමන් කරන අන්තර්ජාතික නැව් මාර්ග ගෝලීය ආර්ථිකයේ එන්ජිම ක්‍රියාත්මක වීමට උපකාරී වේ. මෙම ජලයට මෙන්ම කලාපීය රාජ්‍යයන්ට එල්ල වන තර්ජන මැඬලීම සඳහා සමුද්‍රාශ්‍රිත ජාතීන් එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. එවැනි තර්ජන අතරට මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු අපරාධ මෙන්ම මෙම කලාපයේ ආගමික අන්තවාදය පැතිරීම ද ඇතුළත් වේ. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ශ්‍රී ලංකා අත්දැකීම් පෙන්නුම් කරන්නේ එවැනි භයානක මතවාදයන් කෙතරම් ඉක්මනින් ජාතීන් අතර පැතිරී පුළුල් විනාශයක් කළ හැකිද යන්නයි. එවැනි තර්ජන කළමනාකරණය කිරීම සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර බුද්ධි තොරතුරු බෙදා ගැනීම සහ අන්තර් රාජ්‍ය සහ අන්තර් නියෝජිතායතන අතර සහයෝගීතාව අවශ්‍ය වේ. මේ හරහා කලාපයේ ආරක්ෂාව සියලු ජාතීන්ට හිතකර ලෙස වැඩි දියුණු කළ හැකියි.

බෙංගාල බොක්ක කලාපයේ පුළුල් ආර්ථික අවස්ථා ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීමද එකසේ වැදගත් වේ. බොහෝ බිම්ස්ටෙක් සාමාජික රටවල සිය ජීවනෝපාය සඳහා මසුන් ඇල්ලීම මත යැපෙන විශාල ප්‍රජාවන් ඇත. ඔවුන්ගේ මුහුදු සීමාවේ නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා වඩාත් නවීන යාත්‍රවලින් පැන නගින අනවශ්‍ය තරගයෙන් ඔවුන් සුරක්ෂිත කරගැනීම වැදගත් වේ. එබැවින් එවැනි සිදුවීම් මෙන්ම අධික ලෙස මසුන් ඇල්ලීම සහ වාර්තා නොවන නීති විරෝධී නියාමනය නොකළ ක්‍රමම උපයෝගී කර මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අප සාමූහික යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. කලාපය තුළ වෙළෙඳ හා ආයෝජන කටයුතු වැඩි කිරීමට උත්සාහ ගැනීම වැදගත් වේ. ශ්‍රී ලංකාව, ඉන්දීය සාගරය මධ්‍යයේ ඇති සිය උපායමාර්ගික පිහිටීම අනුව, කලාපය තුළ වෙළෙඳාම් කටයුතු වැඩි දියුණු කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම්ව සිටී. නාවික කටයුතු සහ සම්බන්ධකතාව අපගේ ජාතික ආර්ථිකයේ කුලුනු වන අතර, නාවික, ගුවන් සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම කලාපයේ ආර්ථික වර්ධනයට සහාය විය හැකි වෙළෙඳාම් කටයුතුවල වර්ධනයට දායක වනු ඇත. මෙවැනි සන්දර්භයක් තුළ, වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකි වන පරිදි කලාපය තුළ වෙළෙඳාම් කටයුතු සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී බිම්ස්ටෙක් ඉටු කරන වැදගත් කාර්යයට වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. ඒ අතරම, සාමාජික රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් රටවල කර්මාන්ත සංවර්ධනය කිරීමේ අවස්ථා ආරක්ෂා කර ගැනීමට අප සැලකිලිමත් විය යුතුය. නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කරන අතරම අපගේ මානව ප්‍රග්ධනය සහ ඵලදායිතාව වර්ධනය කළ හැකි තාක්ෂණික දැනුම අවශ්‍ය වන ව්‍යාපෘති සහ කර්මාන්ත සඳහා සිදු කරන ආයෝජන ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව කිව යුතුයි.

පුළුල් අධ්‍යානපනික ප්‍රතිසංස්කරණ මඟින් අපගේ මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම මගේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියකි. ආර්ථික වර්ධනය මෙහෙයවීමේදී මානව ප්‍රාග්ධන සංවර්ධනයේ සහ තාක්ෂණය භාවිතයේ කාර්යභාරය අතිශයෝක්තියෙන් දැක්වීමක් නොවේ. බිම්ස්ටෙක් සාමාජික රටවල් මේ සඳහා ප්‍රමුඛතාවක් දැක් විය යුතු අතර, එම රටවල් බොහොමයක ජනගහණය සාපේක්ෂව තරුණ සහ ක්‍රියාශීලී අයවලුන්ගෙන් සමන්විත වීම යෝග්‍ය වේ. අනාගත රැකියා වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන දැනුම සහ කුසලතා සංවර්ධනය සඳහා උපකාර වන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හරහා තරුණ තරුණියන්ට රැකියා ලෝකයට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සැලසිය යුතුය. ඩිජිටල් තාක්ෂණය සඳහා වන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍යය ප්‍රවේශය හරහා ඩිජිටල් ව්‍යවසායකත්වය දිරිමත් කිරීම, තාක්ෂණ දැනුමැති ශ්‍රම බළකායක් ගොඩනැඟීම සහ සියලු දෙනාට පොදු සේවාවන් සැපයීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කොට ඇත. විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශය මෙහෙයවීමේ වගකීම දරන සාමාජික රාජ්‍යයන් වශයෙන්, කොළඹ බිම්ස්ටෙක්හි තාක්ෂණ හුවමාරු පහසුකම ක්‍රියාත්මක කිරීමට මඟ පෑදීමට හැකිවීම ගැන ශ්‍රී ලංකාව ආඩම්බර වේ. මෙම පහසුකම මඟින් සාමාජික රටවල් අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව අනාගතයේදී වැඩි දියුණු කර එමඟින් සාමාජික රටවල ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමට දායකත්වයක් දෙනු ඇත. මෙම සන්දර්භය තුළ, අපගේ ජාතීන්ට පොදුවේ ඇති සමාන ආගමික හා සංස්කෘතික උරුමයන්, ගැඹුරු ඓතිහාසික ශිෂ්ටාචාර සබඳතා සහ ඉමහත් වූ ස්වභාවික දායාදයන් උරුමකර ගැනීමේ භාග්‍යය ද අවධාරණය කළ යුතුය. වසර දෙකකට ආසන්න විරාමයකින් පසු නැවත ප්‍රාණවත් වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය, සියලුම බිම්ස්ටෙක් ජාතීන් සඳහා විශාල විභවයක් සපයයි. එබැවින්, කලාපය තුළ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම කෙරෙහි බිම්ස්ටෙක්හි න්‍යාය පත්‍රයේ ප්‍රධාන අවධානය ලබාදිය යුතු වේ. මෙමඟින් කෙටි කාලීනව ආර්ථික ප්‍රකෘතිමත් වීමට පමණක් නොව දිගු කාලීනව සාමාජික රටවලට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට මඟ පාදනු ඇත. වඩාත් දියුණු වූ කලාපීය අවබෝධය සහ ප්‍රත්‍යස්ථිතිය ළඟා කරගැනීම පිණිස ද කලාපය තුළ ජනතාව සම්බන්ධ කර ගැනීම වැදගත් වේ.

අනපේක්ෂිත සිදු වීම් හමුවේ අපගේ සමාජය කෙතරම් ඉක්මනින් වෙනස්වන සුළුද යන්න පසුගිය කාලයේදී සිදු වූ සිදු වීම් අපට උගන්වා ඇති වඩාත් දුෂ්කරම පාඩම්වලින් එකකි. කෙසේ වෙතත්, සියලු ජාතීන්ට විනාශකාරී ලෙස වසංගතය පැතිරී ගියද මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසවල බලපෑම් දිගුකාලීන වන අතර ඒවා වඩාත් නරක අතට හැරීමේ හැකියාව ඇත. දැනටමත්, බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක් දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානමක සිටී. දේශගුණික විපර්යාස වඩාත් නරක අතට හැරෙනවාත් සමඟම, මෙම තත්වයන් කෙරෙහි එහි බලපෑමද තවත් වැඩි වනු ඇත. දේශගුණික විපර්යාස සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් සාමාජික රටවල් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ එබැවිනි. අනාගතදී ඇති විය හැකි තර්ජනවලට මුහුණදීමට කලාපය සූදානම් කිරීම සඳහා පරිසරය සම්බන්ධ ව්‍යාපෘති මෙන්ම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන්ද අප එක්ව කටයුතු කළ යුතුය. ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ කලාපය පුරා හරිත හෝ ස්වභාවික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන අතරම ආහාර සුරක්ෂිතතාව සහ ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමද අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අනුකුලව අපගේ අභිලාෂකාමී සහ යාවත්කාලීන කළ ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයෙන්ගෙන් පිළිබිඹු වන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුවෙහි තිරසාරභාවයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. වසර 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතතාව සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් දෙන දායකත්වය 70%ක් දක්වා ඉහළ නැංවීමටත්, 2050 වන විට මෙරට කාබන් ශුන්‍යව රටක් බවට පත් කිරීමටත්, නව ගල් අඟුරු විරහිත බලශක්ති සම්මුතියේ සම – නායකයකු ලෙස නව ගල් අඟුරු බල ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට සහතික වීමටත් අපි කැප වී සිටිමු. තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය මඟින් ද වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීම පිණිස කටයුතු කිරීමට ජනතාව දිරිමත් කෙරේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නීල ප්‍රඥප්තිය’ හරහාද කඩොලාන සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව නායකත්වය දෙමින් කාර්යභාරයක් ඉටු කරයි. හරිත කෘෂිකර්මය ද ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන වැඩසටහනක් බවට පත් වී ඇත. අපේ ග්‍රාමීය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත අංශවල රැකියාවල නිරත වේ. පාරිසරික හායනය ඇති නොවන පරිදි කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම සහ භාවිතයන් අනුගමනය කිරීම මෙම අංශයේ තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. කෘත්‍රීම පොහොර මත යැපීම අවම කර කාබනික ගොවිතැන දිරිමත් කිරීම අපගේ අනාගත පරපුරේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ. කර්මාන්තවලින් මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ගංගා සහ සාගර දූෂණය වීම අවම කිරීම මෙන්ම භූගත ජලය ආරක්ෂා කිරීමද එකලෙස අත්‍යවශ්‍ය වේ. මෙම කරුණු සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා බිම්ස්ටෙක් සංවිධානය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී. ගෞරවනීය ආරාධිතයනි, මුහුණ දීමට අභියෝග තිබුණද, බිම්ස්ටෙක් හි අනාගතය පැහැදිලි සහ ශක්තිමත් බවට මට කිසිදු සැකයක් නැත. අපගේ සාමූහික ප්‍රයත්නයන් තුළින් බිම්ස්ටෙක් හි අද සමුළුවේ තේමාවෙන් ඉස්මතුකරන අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකිය. ලෝකය තුළ ආසියාවේ වැදගත් සාමූහික හඬක් බවට පත් වීමටද බිම්ස්ටෙක් සංවිධානයට හැකියාව ඇත. අපගේ කලාපය, අපගේ ජාතීන් සහ අපගේ සියලු ජනතාව වෙනුවෙන් මෙය සාක්ෂාත් කර ගැනීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු.

බංගලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මිය- අද පස්වන හමුව පවත්වන මේ සමුළුව සාමාජික රටවල් අතර සහජීවනය වර්ධනය කිරීමට සහ එම රටවල්වල ජනතාවගේ යහපත උදා කිරීමට කටයුතු කළා. කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම නිසා ලෝකයේම ආහාර සැපැයුමට බාධා පැමිණියා. ජනතාවගේ ජීවිත උඩුයටිකුරු කිරීමට මේ වසංගතය හේතු වුණා. නිදහස ලැබූ දා සිට අපි සාමාජික රටවල් සමඟ ඉතා සහයේගයෙන් කටයුතු කළා. බිම්ස්ටෙක් සමුළුවට කලාපයේ පවතින බහුවිධ අභියෝගවලට සාමූහික විසදුම් සෙවිය හැකියි. මේ සමුළුව සාමාජිකයන්ට අවස්ථා උදා කරන වේදිකාවක්. සංවිධානය මෙතෙක් සිදු කර ඇති කාර්ය භාරය ගැන මගේ ප්‍රසාදය පළ කරන්න මා කැමැතියි.

භූතාන අගමැති ලොටේ ෂෙරීන් මහතා- බිම්ස්ටෙක් සමුළුව සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු කළ සේවය අගය කරන්න කැමැතියි. ජාතික, කලාපීය සහ ගෝලීය ගැයලුවලට මුහුණ දීමේදී අප සාමූහිකව කටයුතු කළ යුතුයි. අපගේ කලාපයේ අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීමට මේ සමුළුවට කළ හැකි දායකත්වය සුවිශාලයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා- බිම්ස්ටෙක් සමුළුව ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. මෙය එහි ස්වර්ණමය පරිච්ඡේදයක්. කොවිඩ් වසංගතය හමුවේ ජාතික වැඩපිළිවෙළ ස්ථාවරත්වය ඇති කිරීමට, අපගේ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට, අපගේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට ක්‍රම සෙවිය යුතුයි. අපගේ අන්‍යෝන්‍ය වෙළෙඳාම, සමාරම්භක ව්‍යාපාර වැඩි දියුණු කිරීමට සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුයි. ආර්ථික මැදිහත් වීම්, ප්‍රවාහන සම්බන්ධතා සඳහා මහා සැලැස්මක් කඩිනම් කළ යුතුයි. කලාපයේ නෛතික රාමුව නඟාසිටුවීමට මෙය අවස්ථාවක් කර ගනිමු. කලාපයේ වෙරළබඩ පරිසර පද්ධතිය සවිමත් කිරීමට පියවර ගනිමු. සංවිධානයේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියනයක් දෙනවා.

මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මූන් ල්වින් මහතා- අපගේ කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව මා පෙන්වා දෙන්න කැමැතියි. අපේ රටේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ඉන්දියාව සහ තායිලන්තය දුන් විශේෂ සහායට ස්තුතිය පළ කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙය ඉතාම සුදුසු අවස්ථාවක්.

නේපාල අගමැති ෂෙර් බහදූර් ඩෙවුබා මහතා- අපගේ සෞභාග්‍යය බෙදා ගැනීමට මේ සමුළුව වැදගත් වෙනවා. අභියෝග හමුවේ කළ යුතුව ඇත්තේ සුබවාදී ආකල්ප වර්ධනය කරගැනීමයි. සාර්ථකත්වය ඇතිකර ගැනීමට සාකච්ඡාව ඉතා වැදගත් ප්‍රතිඵල උදා කරන ක්‍රමවේදයක්.

බිම්ස්ටෙක් සමුළුවේ මීළඟ සභාපතිත්වයට පත් වූ තායිලන්තයේ අගමැති විශ්‍රාමික ජෙනරාල් ප්‍රයුත් චාන් ඕ චා මහතා- ගෝලීය දේශපාලනික සහ ආර්ථිකය ඉතා අස්ථාවර තත්ත්වයට පැමිණ තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑම, වෙළෙඳපොළ බිඳවැටීම අන්තර්ජාතික වශයෙන් බලපෑමක් සිදු කළා. අද දවසේ මේ රැස් වී සිටින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේදී අභියෝගවලට සාමූහිකව මුහුණ දීමට කලාපීය රටවල් අතර ඵලදායී සංවාදයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *