අලුත් අවුරුද්දට 19 වැනිදා දක්වා විශේෂ බස්රථ සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි, දුරගමන් සේවා සඳහා අනියුක්ත කර ඇති මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 04 කින් ඉන්ධන ලබාදෙන බවයි.

මේ අතර, මාකුඹුර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගම්බිම් බලා ජනතාව වෙනුවෙන් ද විශේෂ ගමන්වාර ක්‍රියාත්මක කර තිබේ. ඒ අනූව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක මහතා පැවසීය.

මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ක්‍රියාත්මකය. දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි කිහිපයක් එක් කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *