විරෝධතා පාලනයට හමුදා බලය යොදවන්නේ නෑ

(කොළඹ, ලංකාපුවත්) – සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිඳු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය දෙන බවද කියා සිටී.

සාමකාමී ලෙස විරෝධතාවේ යෙදෙන අය අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් කර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නැති බවද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවද ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙයි.

සාමකාමී අරගලයන්වල දී තම යටි අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කිරීමට වෙර දරන විවිධ කණ්ඩායම් පිළිබඳ පෙන්වා දෙමින් ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගන්නා බවයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව රටේ නීතිය, සාමය සහ ජනතාව ආරක්ෂා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමටත් තම යුතුකම වගකීමෙන් යුතුව ඉටු කරන බවද ගෞරවාන්විතව සහ අවංකව කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගන්නා උත්සාහය කෘතවේදීව සිහිපත් කරන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් තම මුහුණු පොතෙහි (Facebook) ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන් අමතා තබා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *