ජනතා පෝලිම් ඉක්මනින් අවසන් කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පැය 24න් විසඳුමක් නොලැබුණත් තව බොහෝ කලක් ජනතාව පෝලිම්වල නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

පාර්ලිමේන්තුව ඇරඹුමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අර්බුදයෙන් ගොඩ එන්න රටක් ලෙස සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු මොහොතක දේශපාලනික වශයෙන් බොර දියේ මාළු බාන්න මෙය අවස්ථාවක් නොවේ යැයි තමන් විශ්වාස කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහිදී අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේය.

“මේ වන විට රට මුහුණ පා ඇති අභියෝග පිළිබඳ මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රට ඉතිහාසය පුරා දිගුකාලීනව මුහුණදුන් ආර්ථික අභියෝගය අද වන විට ඉතා දුෂ්කර තැනකට පත්ව තිබෙනවා. ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් තමන්ගෙ ජනතාව දුෂ්කරතාවට පත් කරන්නේ නැහැ. එහෙත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි. මේ නිසා ඇතිවුණු තවත් නොයෙක් දුෂ්කරතාවන්ටත් ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා.

“මේ අප ගෙවමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්න රටක් ලෙස අපි හැම දෙනාම එක්ව කටයුතු කළ යුතු මොහොතක්. දේශපාලනික වශයෙන් බොර දියේ මාළු බාන්න මෙය අවස්ථාව නෙමෙයි කියලයි මා විශ්වාස කරන්නේ. අපි හැමදෙනාම ගැන ජනතාව බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නෙ කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ නිසා රජයක් ලෙස අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ වගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයයි.

“රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතා වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇගයීමට ලක්වන ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනකු පත්ව සිටිනවා. මහ බැංකුව ඇතුළු මූල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙක් පත් කරන්න අප කටයුතු කළා.

“ඒ විතරක් නෙමෙයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ අන්තර්ජාතික ආයතන සමඟ අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමඟ මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහාය දෙමින් සිටිනවා.

“මුදල් ඇමැතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහා බැංකු අධිපතිවරයා මේ මොහොතේත් දැඩි කැපවීමකින් යුතුව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. එහෙත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු කාලීනව මෙවැනි අර්බුදයන් නැවත රට තුළ ඇති නොවීමට වගබලා ගැනීමේ ස්ථිර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවට එහා ගිය මැදිහත්වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ ඒ නිසයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *