‘මාඕ සේතුං‘ ගේ මෙහෙවරට චීන ජනපතිගේ ප්‍රණාමය

(කොළඹ | ලංකාපුවත්) –  චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු පෙළේ නායකයෙකු වන මාඕ සේතුං මහතා චීන ජනතාවට අමතක කළ නොහැකි ඓතිහාසික මෙහෙවරක් ඉටු කළ සැබෑ නියමුවෙකු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.

හෙතෙම මේ බව පැවසුවේ, මාඕ සේතුං මහතාගේ 130 වැනි ජන්ම දිනය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවැත්වූ සාකච්ඡාවක දී ය.

එය චීන මහජන මහ ශාලාවේ දී ඊයේ (26) පැවැත්විණ. චීන ජනාධිපතිවරයා එහිදී දේශනයක් පැවැත්වීය.

මාක්ස්වාදය චීනයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික ක්‍රියාදාමය ආරම්භ කරනු ලැබුවේ මාඕ සේතුං මහතාගේ නායකත්වය යටතේ යි. ඒ ඔස්සේ හෙතෙම චීන ජනතාව වෙනුවෙන් ඓතිහාසික මෙහෙවරක් ඉටු කළ බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන අනන්‍යතා සහිත නවීකරණය ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම සහ චීන ජාතියේ පුනර්ජීවන මෙහෙයුම අංගසම්පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම නවයුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම සමස්ත චීන ජාතියේ කේන්ද්‍රීය වගකීමක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මාඕ සේතුං චින්තනය චීන කොමියුනිස්ට් පක්ෂය සතු වටිනා චින්තනමය වස්තුවක් වන අතර, එය චීන කොමියුනිස්ට් පක්ෂය සඳහා වන දිගුකාලීන මගපෙන්වීමකි. මාඕ සේතුං මහතා සැමරීමේ හොඳම ක්‍රමය වන්නේ ඔහු ආරම්භ කළ ප්‍රයත්නය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *