ලංකාවේ වත්මන් තත්ත්වයට ජූලි චන්ග් සතුටින්

(කොළඹ | ලංකාපුවත්) – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (08) අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්විණි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබදව අධිකරණ අමාත්‍යතුමා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ගනු ලැබීය.

එහිදි අදහස් පළ කරමින් අධිකරණ ඇමතිවරයා මෙසේ පැවසීය

අවශ්‍ය සංශෝධන සිදු කරමින් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබදව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී වෙනත් රටවල ත්‍රස්ත විරෝධි පනත් පිළිබදව අධ්‍යනය කිරීමට කටයුතු කළා. පනත් කෙටුම්පතේ කරුණු කිහිපයක් පිළිබදව විවේචන එල්ල වුණා. එම කරුණු සුදුසු පරිදි සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි සිදු කර ඇති සංශෝධන පිළිබදව අමාත්‍යතුමා පැහැදිලි කරන ලදී.

ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත පිළිබදව තානාපතිනිය අමාත්‍යතුමා අතර කරුණු හුවමාරු විය.

නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරනු ලබන නැව් සදහා අලෙවි කිරීම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක පමණ ආදායමක් ලබා ගත හැකි බවත්, බ්‍රිතාන්‍ය සමාගමක් නාරා ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාවට අයත් නාවික මුහුදු සීමාව තුළ නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරන නැව්වලට අලෙවි කිරීම සිදු කරන බවත්, වර්තමානය වන විට නැව්වලින් අය කරනු ලබන මුදලින් ශ්‍රි ලංකාවට හිමි වන්නේ සුළු මුදලක් බවත්, අදාළ මුදල පුර්ණ වශයෙන් ලබා ගැනීමේ හැකියාව නව පනත් කෙටුම්පත සම්මතවීමෙන් පවතින බවත්, එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත පිළිබදව තානාපතිනිය දැනුවත් කිරීමට අධිකරණ අමාත්‍යතුමා කටයුතු කළ අතර, එම පනත් කෙටුම්පත පිළිබදව අදහස් පළ කරමින් හෙතෙම මෙසේ සදහන් කළේය.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිලිබදව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තුළින් ගමේ සාමය සමගිය ඇති කිරීම සදහා සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු ස්ථාපිත කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ගමේ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ආකාරය හා ගමේ සාමය සමගිය ඇති කිරීමට එම සංහිදියා කමිටු කටයුතු කළ යුතුයි. මෙවර තෛපොංගල් උත්සවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය විසින් යාපනය දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර තිබෙන බවද පැවසීය.

බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙන මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම පිළිබදව හා එම මෙහෙයුම තුළින් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් රදවා තැබීමට පවතින බන්ධනාගාර පහසුකම් පිලිබදව කරුණු හුවමාරු වු අතර, එහිදි අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කලේ අත් අඩංගුවට ගනු ලබන මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සදහා පුර්ණ අවධානය යොමු කර තිබෙන බවයි. ඒ සදහා බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කර ඇති බවත්, පුනරුත්ථාපනය කාර්යාංශ පනත සම්මත කර ඇති බවත්, මත් ද්‍රව්‍ය භාවිතය පාලනයට එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත් ද්‍රව්‍ය පිළිබද කාර්යාලය සමග එක්ව වැඩ සටහන් දියත් කර ඇති බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමකාමී ජන ජීවිතය පවත්වා ගෙන යාම හා සංවර්ධන ක්‍රියාවලිය සදහා ඇමරිකාව ලබා දෙන සහයෝගය අගය කරන අතර එය ඉදිරියටත් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.

 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, සාමකාමී පරිසරය හා ජන ජීවිතය යථා තත්වයට පත්වීම පිළිබදව අතිශයින් සතුටු වන බවත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වන බවත්, යුක්තිය මෙහෙයුම මගින් ශ්‍රි ලංකාවෙන් මත් ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ඇති පියවර වැදගත් වන බවත්, විශේෂයෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන හා බෙදා හරිනු ලබන පුද්ගලයින් පාලනය කළ යුතු බවත්, ජාතික ජල ශාස්ත්‍රිය පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල කෙටුම්පත සම්මත කිරීම අගය කරන බවත්, තානාපතිනිය සදහන් කළාය.

මෙරට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබදව මෙහිදී අදහස් හුවමාරු වු අතර එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කලේ මෙරට අති පුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සීයයට අනු නවයක් භික්ෂුන් වහන්සේලා ජාතික හා ආගමික සමගිය වෙනුවෙන් උපරිම ආකාරයෙන් කටයුතු කරන බවයි. එහෙත් සුළුතරයක් භික්ෂුන් වහන්සේලා පිරිසක් සාමයට සමගියට බාධාවන ආකාරයේ ක්‍රියාවන් සිදු කරන බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වන බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන උසස් නිලධාරීන් සදහා පුහුණුවීම් ලබා දෙන ලෙස අමාත්‍යතුමා තානාපතිනියගෙන් ඉල්ලීමක් කළ අතර, ඒ සදහා කටයුතු කරන බව ඇය පැවසුවාය.

නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, අතිරේක ලේකම් පියුමන්ති පිරීස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *