සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ ට

(කොළඹ | ලංකාපුවත්) –  වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙසයි.

රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා තිබේ.

රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 05 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවති මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ ගොස් තිබේ.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ දමා තිබෙන බව සඳහන් වේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 05ක් ව පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුවම අය කිරීමට තීරණය කර තිබේ.

බලපත්‍රයක් ස්ථාන මාරු කිරීමේ ගාස්තුව දෙලක්ෂ පනස් දහසක් වන අතර, නෛතික උරුමකරුවෙකු නොවන්නෙකු සඳහා සුරාබදු බලපත්‍රයක් පවරන්නේ නම් රුපියල් මිලියන 15ක් ගාස්තු ලෙස ගෙවිය යුතු බව එහි දැක්වේ.

මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු ද ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව එක් එක් කාණ්ඩ යටතේ ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද සංශෝධනය කර තිබෙන බව සඳහන්ය.

විශේෂයෙන් ආයෝජන අවස්ථා සැලකිල්ලට ගනිමින් කැසිනෝ සූදූ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමට නව ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *