රථ වාහන වැරදි නිරීක්ෂණයට පොලිසියෙන් CCTV තාක්ෂණය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මේ යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන සේවයක් ලෙස කොළඹ නගරය තුළ රථවාහන නීති උල්ලංඝනය සී සී ටී වී තුලින් නිරීක්ෂණය සිදුකරනු ලබයි.

යුරෝපය ඇතුළු ලොව දියුණු රටවල් රාශියක පොලිස් රථවාහන කොට්ඨාශය විසින් භාවිතා කරනු ලබන මෙම නවීන තාක්ෂණික ක්‍රමවේද මෙරට මාර්ග නිරීක්ෂණය සඳහා හඳුන්වාදීම තුළින් වඩාත් කාර්යක්ෂමව පොලිස් රථ වාහන රාජකාරි සිදු කිරීමට හැකිවන අතරම රියදුරන් අතර විනය තවදුරටත් වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ. ඒ සමග කොළඹ නගරයේ බොහෝ ස්ථානවල රථ වාහන පොලිස් නිලධාරින් භෞතිකව රාජකාරිය නිරතවීම අවම වනු ඇත.

හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බලසූරිය මහතාගේ නිල කාලය තුළ ආරම්භ වී ඇති සීසීටීවී කැමරා පද්ධතිය දශක කිහිපයක් තුළ කොළඹ තුළ ස්ථාපිත කොට තිබුණ නමුත් ඉන් ඵලදායි සේවයක් මෙතෙක් ලබාගෙන නැත. දැනට පැය අටක සේවා මුරයක් තුළ රථවාහන පොලිස් නිලධාරියකු විසින් භෞතිකව ලබාගන්නා රථවාහන වැරදි ප්‍රමාණය පහක් හයක් පමණ වේ. නමුත් එම ස්ථානයේම ස්ථාපිත කළ හැකි ඇති සීසීටීවී කැමරාවක් තුළින් තුන්සියයකට අධික වැරදි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී ඇත. ඊට හේතුව පොලිස් නිලධාරීන් විසින් රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන හැසිරවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි.

සිසිටීවී තාක්ෂණය රථ වාහන පොලිසිය හා සබැඳිව යොදා ගැනීම උදෙසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඍජු සබඳතාවයක් පොලිස් දෙපාර්තමේන්තු සමග පවත්වයි. ඒ අනුව නිරීක්ෂණය කරන වාහනවල නීත්‍යානුකූල ලියාපදිංචිය, හිමිකරුවන් ආදී තොරතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාශය වෙත අවස්ථාව හිමිවේ.ඒ අනුව කොළඹින් බැහැර ප්‍රදේශයක ලියාපදිංචි රථයක් මගින් සිදු කරන රථවාහන වරදක් පිළිබඳව වුවද අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා එහි හිමිකරු දැනුවත් කිරීමට පොලිස් සී සී ටී වී කොට්ඨාශයට හැකියාව ඇත. ඒ තුළින් වඩාත් මහජන මිත්‍රශීලීසේවාවක් ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.

එසේම මෙම සේවාව ආරම්භ කරන ජනවාරි විසි දෙවැනි දා සිට සතියක කාලයක් ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඒ වෙත හැඩගැසීම සඳහා සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. ඒ අනුව අදාළ සතියක කාලය තුළ සී සීටී වි පද්ධතිය හරහා නිරීක්ෂණය කරන රථවාහන වැරදි සඳහා අවවාද පත්‍රිකාවක් නිකුත් කෙරෙනු ඇත. ඒ තුළින් නීතිගරුකව රිය පැදවීම සඳහා මහජනතාව දිරිමත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.

අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“පොලිස් නිලධාරින් යනු මහජනතාව සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ යුතු පිරිසක්. ඒ අතරින්ද රථ වාහන පොලිසිය ජනතාව සමග ඉතාම සමීප මෙහෙවරක නිරතවනවා. පසුගිය කාලය තුළ පොලිසියත් මහජනතාවත් සමඟ පැවති සබඳතාවයේ මඳ දුරස්ථභාවයක් දක්නට ලැබුණා. පසුගියදා ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුමත් සමග මහජනතාව නැවතත් පොලිසිය සමඟ කිට්ටු සබඳතාවයකින් කටයුතු කිරීම ආරම්භ වී තිබෙන බව පෙනී යනවා. ඒ තුළින් ජනතාව නැවතත් පොලිසිය කෙරෙහි පවතින විශ්වාසනීයභාවය ශක්තිමත් වෙමින් පවතිනවා. පොලිසියද තවදුරටත් ජනතාව සමඟ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ඒ සබඳතාවය ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතුයි.
සීසීටීවී කැමරා තාක්ෂණය කලකට ඉහත පොලිස් දෙපාර්තමේන්තුව වෙත හඳුන්වා දුන් තාක්ෂණික පද්ධතියක් වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම කලින වශයෙන් මොහොතේ ඉතාමත් වැදගත්. වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම සඳහා රථවාහන පොලිසිය වෙත එය විශාල ශක්තියක් වනු ඇති. මෙම වැඩ පිළිවෙළ ද සමඟ ජනතාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව රථ වාහන පොලිස් නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් ලබාදීම කඩිනම් පියවර ගත යුතුයි. ජනතාව සමග සුහදශීලීව කටයුතු කරන අතරම නීතියද නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි සඳහා නියමිත දඬුවම් ලබාදිය යුතුයි.

මෑතකදී ගලගෙදර ප්‍රදේශයේදී සිදු වූ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මගේ පුත්‍රයාගේ මෝටර් රථය නතර කර, ඔහු කවුරුන්ද යන්න පිළිබඳව නොදැනුවත්ව වුවත් අදාල රාජකාරී ඉතාමත් වෘත්තීයමය ආකාරයෙන්, ආචාරශීලීව කතාබහ කරමින් සිදුකර තිබූ ආකාරය පිළිබඳව මගේද විශේෂ අවධානය යොමු වුණා. පොලිස් දෙපාර්තමේන්තු සතුව එවැනි පොලිස් නිලධාරීන් සිටීම ඉතාමත් වැදගත්. අනෙකුත් නිලධාරින්ද එලෙස රාජකාරි කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරමින් ජනතාව සමග සමීපව කටයුතු කිරීම සඳහා යොමු කළ යුතුයි.
කොළඹ ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම cctv නිරීක්ෂණ වැඩපිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කළ යුතුය. දැනට පවතින තාක්ෂණය සහ සම්පත් යොදා ගනිමින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙල, දියුණු රටවල පවතින නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ද අනුගමනය කරමින් තවත් පුළුල් කළ යුතුව පවතිනවා. අමාත්‍යංශය පාර්ශවයෙන් ඒ සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මා කටයුතු කරනවා.

පොලිස් රථවාහන කොට්ඨාසයට පමණක් නොව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළම පවතින සාම්ප්‍රදායික ක්‍රමවේදයන් තුළ සිදුවන නාස්තිය අවම කරමින් දියුණු රටවල පවතින ආකාරයේ තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරන ආදර්ශමත් ආයතනයක් බවට පත්කළ යුතුයි.”

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්,පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *