ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනපතිව ගෙදරට ගිහින් මුණගැහෙයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒ මහතාගේ නිල නිවසට ගොස් හමුවී තිබේ.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනපතිවරයා සිය සුභ පැතුම්ද එක්කර ඇති අතර එසේම ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳව කෘතවේදීත්වය පලකර ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබාදීම සම්බන්ධයෙන් ද ඉන්දියාවට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කර තිබේ.

ඒ අතර නව කොමසාරිස්වරයා මීට පෙර 2007 – 2010 කාලසීමාවේදී මෙරට කටයුතු කරද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සමීපව කටයුතු කර ඇත.

සන්තෝෂ් මහතා මෙරට මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර ති‍බේ.

ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *