මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(කොළඹ | ලංකාපුවත්) –  වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව දැන් මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මඟෙහි ම ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බව 76 වෙනි නිදහස් සමරු පණිවිඩයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේය.

දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළට සහායදීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි.

මේ මඟෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත. 1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්‍ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත්

රාජ්‍යයක් බවට පත් වීමටය. අතීත වැරදි යළි සිදු නොකළ යුතුය.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *