ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ

(කොළඹ | ලංකාපුවත්) – මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ නව ගුවන් සේවා ගිවිසුමකට ද අත්සන් තැබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඉදිරියේ ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මිලියන 22ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ 37 වන අපනයන ගමනාන්තය වන තායිලන්තය මිලියන 71.6ක ජනගහනයකින් සමන්විත වේ. තායිලන්තය විසින් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාත කෝටාව වැනි වෙළෙඳ සිමාවන් පනවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වන තේ, ගම්මිරිස් සහ පොල්තෙල් ද ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව විසින් 2022 වර්ෂයේ දී ඇ.ඩො.මි. 58.82ක් වටිනා භාණ්ඩ පමණක් තායිලන්තයට අපනයනය කර ඇත. 2022 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 495ක් වූ තායිලන්තය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) දෙවන විශාලතම ආර්ථිකය හිමි රට වේ.

තායිලන්ත සමාගම් විසින් ඇ.ඩො.බි. 17.3ක් විදේශයන්හි ආයෝජනය කරමින් 2021 වර්ෂයේදී ආසියානු සංගමයේ විශාලම ආයෝජක රාජ්‍යයක් බවට පත්විය. 2005 සිට 2022 දක්වා කලය තුළ ශ්‍රී ලංකාව තුළ තායිලන්තය විසින් ඇ.ඩො.මි. 92කට අධික සෘජු විදේශ ආයෝජන සිදු කර ඇත. 2018 වසරේදී එවකට පැවති ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම (ඇ.ඩො.මි. 550) වසර හතරක් ඇතුළත ඇ.ඩො.බි. 1.5 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීම අපේක්ෂා කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ ප්‍රමුඛ අරමුණක් විය.

මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, ප්‍රභවස්ථාන රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ ප්‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු ක්‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික ප්‍රතිපාදන, ආයතනික හා අවසාන ප්‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විත වන අතර පුළුල් සාකච්ඡා වට නවයකින් පසු වෙළෙඳ සාකච්ඡා නිම කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. 1950 වසරේ එළැඹි ගිවිසුම ශක්තිමත් කරමින් මෙම නව ගිවිසුමට අත්සන් තැබුණු අතර දෙරට අතර ගුවන් සේවා සබඳතා සහ නියාමන රාමු වැඩිදියුණු කිරීම මෙමඟින් සිදු වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ තායිලන්තය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජකපොන්ග් සංග්මනී (Jakkapong Sangmanee) යන මහත්වරු ඊට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඉන් අනතුරුව අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව සතු ඉතා උසස් තත්ත්වයේ මැණික් ජාත්‍යන්තරය තුළ මහත් ප්‍රසිද්ධියක් උසුළන අතර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දැනට සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින තායිලන්තය එම සහයෝගීතාවයේ වැදගත්කම හඳුනා ගෙන තිබේ. ඒ අනුව දෙරටෙහි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සහ පුහුණු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බී.ජී.ආර්.ඩබ්ලිව්. ගම්ලත් සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අධ්‍යක්ෂ සුමෙද් ප්‍රසොන්ග්පොන්ග්චායි (Sumed Prasongpongchai) යන මහත්වරු ඊට අත්සන් තැබූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *