සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ PULA අවබෝධතා ගිවිසුමකට එළඹේ

(කොළඹ | ලංකාපුවත්) – මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කෘෂිකාර්මික අංශය සඳහා නිවැරදි දත්ත පදනම් කර ගත් රක්ෂණ පහසුකම් සැපයීමට අවශ්‍ය තාක්ෂණික සහාය ගැනීම සඳහා කෘෂිකාර්මික රක්ෂණ සඳහා තාක්ෂණ විසඳුම් සපයන PULA සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම සහයෝගීතාව යටතේ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට අවශ්‍ය නවීන තාක්ෂණික සහාය ගැනීමටත්, ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ සම්බන්ධ වීමටත් හැකි වනු ඇත. PULA සමාගම සපයන චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කර ගත් තාක්ෂණික විසඳුම් ගංවතුර, නියඟය සහ සුළි කුණාටු වැනි ස්වාභාවික ආපදා හේතුවෙන් මෙන්ම වන සතුන්ගෙන් සිදු වන වගා හානි නිවැරදිව ගණනය කිරීමට උපකාරී වේ. එම විසඳුම් සමඟ ඕනෑම වපසරියක වගා හානියක් නිවැරදිව ගණනය කර කෙටි කාලයක් තුළ අදාළ රක්ෂණ මුදල් ගොවීන්ට දීමට හැකි වීම සුවිශේෂ කරුණකි.

මෙම අවබෝධතා ගිවිසුම සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට ලොව පුරා පිළිගත් ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම්ද සළසයි. වර්තමාන තත්ත්වය තුළ කෘෂිකාර්මික රක්ෂණ පහසුකම් සපයන බොහෝ සමාගම් වගා හානි ගණනය කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා නොගැනීම නිසා බොහෝ ප්‍රතිරක්ෂණ සමාගම් එම සමාගම් සමඟ ගනුදෙනු කිරීමට මැලිකමක් දක්වයි. කෙසේ වෙතත් මෙම අවබෝධතා ගිවිසුම තුළින් වගා හානි පිළිබඳව ඉතා නිවැරදි දත්ත ගැනීමට හැකියාව ලැබෙන බැවින් ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වේ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) ඩිලාන් ගුණරත්න, විශේෂිත නිලධාරී යමුනා ගොඩගේ සහ PULA සමාගම නියෝජනය කරමින් එහි වාණිජ අධ්‍යක්ෂ (ආසියානු සහ බටහිර අප්‍රිකානු කළාපය) සුකිර්ති විනායක්, තාක්ෂණික ප්‍රධානී (ශ්‍රී ලංකාව) ධනික හෙට්ටිගේ සහ අධ්‍යක්ෂ (ශ්‍රී ලංකාව) ගොවිඳු තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *