චීන හා රුසියානු ජනපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක

(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, ඊයේ (16) බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව යි.

පුටින් ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව අරඹා ගෙවී ගිය වසර 75 තුළ වූ වර්ධනීය අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු බව ෂී ජින්පිං කියාසිටි‍යේය. එසේම, ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය හා ගෝලීය අර්බුද පිළිබඳව ද ගැඹුරින් අදහස් හුවමාරු කර තිබේ. මීළඟ අදියරේ දී දෙ‍රට සම්බන්ධතාව හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සම්බන්ධයෙන් ද නිසි සැලසුම් සකස් කර ඇතැයි චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

අන්තර් රාජ්‍ය හා විවිධ ක්ෂේත්‍ර පිළිබඳ වැදගත් සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබීමේ අවස්ථාවට රුසියානු නායකයා සමග සහභාගි වූ බවත්, එම සහයෝගිතා දෙරට සම්බන්ධතාවයට නව ගාමක බලයක් එකතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ෂී ජින් පිං ප්‍රකාශ කළේය. එසේම, ගෝලීය ආරක්ෂාව මෙන්ම කර්මාන්ත හා සැපයුම් දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය හා රුසියාව එක්ව ක්‍රියාකරන බව ද හෙතෙම පැවසීය.

රුසියාව දිගුකලක් තිස්සේ සිය විශ්වසනීය සහියෝගතා හවුල්කරුවෙකු ලෙස චීනය සලකන බව ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා ආරක්ෂක යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ද රුසියාව සූදානමින් සිටී. ජාත්‍යන්තර වේදිකාවේ දෙරට අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින්, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පටිපාටියක් ප්‍රවර්ධනය කිරීමට ද පියවර ගන්නා බව රුසියානු ජනාධිපතිවරයා කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *