උරුමය වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන්ගේ තොරතුරු ජනපති ඉල්ලයි

(කොළඹ | ලංකාපුවත්) –  උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් අද (25) පෙරවරුවේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා සංකේත්තාමකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද ඔබ සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙය ආරක්ෂා කරගෙන ඔබගේ දරුවන්ට ලබාදීම ඔබ සියලුදෙනාගේම වගකීමයි. මෙම වැඩසටහන ආරම්භ කරන විට මෙම ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඇයි කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. අපි ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන්නේ සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්මයි. මෙය ඔබේ උරුමයයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් අප දිවයින පුරා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම කටයුතු සඳහා මිණුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල වැඩි කිරීමට ද මේ වන විට පියවරගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරනවා. බොහෝ පිරිසක් මීට සහාය ලබා දෙනවා. නමුත් ජනතාව බියට පත්කරන නිලධාරින් පිරිසක් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා. මේ ඉඩම් ආපසු රජයට පවර ගන්න පුළුවන්, ඒ නිසා සින්නකර ඔප්පුවක් ගන්නේ ඇයි කියා ඔවුන් ප්‍රශ්න කරන බව දැන ගන්නට ලැබී තිබෙනවා. නමුත් නැවත වරක් ඔබෙන් යම් නිලධාරියෙක් එවන් ප්‍රශ්න කිරීමක් සිදු කළහොත් එම නිලධාරින් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දැනුම් දෙන්න කියා මම ඉල්ලනවා. එම නිලධරින් පිළිබඳ සොයා බලා මට කරුණු වාර්තා කරන්න කියා මම මන්ත්‍රීවරුන්ට ද දැනුම් දෙනවා.

එවන් ප්‍රකාශ සිදු කරමින් කඩාකප්පල්කාරීව හැසිරෙන නිලධාරින් සුළු පිරිස හොඳින් රාජකාරී කරන නිලධාරින්ගේ ගෞරවය ද නැති කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ.

ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් මෙම ඉඩම් ලැබීමට සුදුසුකම් ලබන අය පිළිබඳ තොරතුරු සොයා බලා අපට ලබාදෙන ලෙස මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ මම ආණ්ඩුකාරවරුන් ද දැනුවත් කර තිබෙනවා. එවිට ඔබ සියලුදෙනාට එක්ව මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගත හැකියි. ඒ නිසා මේ වැඩපිළිවෙළ වෙනුවෙන් සම්පුර්ණයෙන් කැපවන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

මෙම ඉඩම් අයිතිය ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙම ඉඩම් හිමිකම් ලබන ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවිය යුතුයි. එමගින් රටේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන හරහා සියලු බෝග වගාවන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සමඟ ඊළග වසර 05 තුළ තම නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය සහාය හිමි වෙනවා.

ඒ නිසා ඉදිරි මාස 02 තුළ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදීමට පක්ෂ බේදයකින් තොරව මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස මම මෙහි සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,

උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ වසරේ පෙබරවාරි මාසයේදී. ඔබට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා. එදා ඩී.එස්.සේනානායක මැතිතුමා ඉගිනියාගල ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ එහි ජනතාව පදිංචි කළේ අම්පාර ප්‍රදේශයේයි. ගොවින් වශයෙන් ඔබ අනුන්ගේ ඉඩම්වල වසර ගණනාවක් තිස්සේ වගා කටයුතු සිදුකළා. ඔබට එහි උරුමය අවශ්‍ය නිසයි උරුමය නමින් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ.

දැන් ඔබට ඔබේ දරුවන්ට ඉඩමේ අයිතිය හිමිව තිබෙනවා. මෙය ඔබේ ජීවිතයේ පළමු වතාවට ලැබෙන අයිතියක්. ඒ උරුමය ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක් වෙනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පුව ඔබේ පරම්පරාවට ලබාදෙන ගෞරවයක් බව ද පැවසිය යුතුයි.
දේශපාලනයේදී ඇතැම් අය ඔබට ලොසිනජර දෙන විට ජනාධිපතිතුමා ඔබට උරුමය ලබා දුන්නා. දිවා රෑ නොබලා මේ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් කැපවී කටයුතු කරනවා. ඔබට උරුමය ලබා දෙනවාට ඇතැම් පිරිස් කැමති නැහැ. ඉදිරියේදී තිබෙන්නේ තවදුරටත් අත්හදා බැලිය හැකි කාලයක් නෙවෙයි. මීට පෙර අපි අත්හදා බලලා රටට සිදුවූ දේ අපි කවුරුත් දන්නවා. මේ රට ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා,

අම්පාර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු නොමැති විශාල පිරිසක් සිටිනවා. ඉඩමට සින්නක්කර ඔප්පුවක් ලබාදීමේ උරුමය උදාර සංකල්පය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට ස්තුතිවන්ත වෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසුව මේ රටේ ආර්ථිකය කඩාවැටුණා. අද වන විට රටට හුස්ම ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කළේ ඔබතුමායි. අම්පාරේ පොසොන් උදානය මෙවර පැවැත්වුණේ වසර ගණනාවකට පසුවයි. ජාති ආගම් බේදයෙන් තොරව එය නැරඹීමට ලක්ෂ ගණනක පිරිසක් පැමිණියා. මෙතරම් සාර්ථකව අම්පාරේ පොසොන් උදානය පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දායකත්වය නිසයි.

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා,

අද අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතා සතුටුදායක දිනයක්. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදිය යුතු බව තීරණය කළේ යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයාව සිටියදී බව පැවසිය යුතුයි. නමුත් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඊට විරුද්ධ වුණා. අග්‍රාමාත්‍යතුමා ඉඩම් ටික ඇමරිකාවට විකුණන්න සූදානම් වන බව පැවසුවා. එදා ඇමෙරිකාව මෙම ඉඩම් මැනීම සඳහා අපට තාක්ෂණික සහාය ලබාදීමට ඉදිරිපත් වුණා. එය සිදු නොකළ නිසා අපට ඩොලර් මිලියන 500ක් අහිමි වුනා.
එක්සත් ජාතික පක්ෂය බිඳ දැමීමට කවුරු උත්සාහ කළත් පක්ෂයේ නායකතුමා ඇතුළු අප සෑමවිටම පක්ෂය ආරක්ෂා කළා. අපේ පක්ෂයේ නායකයා අද රටේ ජනාධිපති වෙලා අරාජික වූ රට ගොඩ ගත්තා. රටක් ඉදිරියට ගෙන යෑමට වයස බාධාවක් නැහැ. ලෝකයේ ප්‍රබලම රටක් වූ ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මේ වන විට ජනාධිපති ධූරය දරන ජෝ බයිඩන්ගේ වයස අවුරුදු 82යි. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස අවුරුදු 75යි. වසර පනහකට ආසන්න දේශපාලනය පළපුරුද්දක් අපේ ජනාධිපතිතුමාට තිබෙනවා. ඒ දේශපාලන නායකත්වයෙන්, පළපුරුද්දෙන් රටට වැඩක් ගැනීමට නම් ඉදිරි වසර 5 සඳහා ද එතුමාට මේ රට භාරදිය යුතුයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, එච්. එම්. එම්. හාරිස්, එස්. එම්. එම්. මුෂාරෆ්, ටී. කලෙයිඅරසන්, තිලක් රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රියානි විජේවික්‍රම, අනෝමා ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස්. රත්නායක, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *