පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන නව අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා ජනපතිට සහතික වෙයි.

දෙරට අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් සහ නව ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බවට ද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත සහතික විය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවක් ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (19) මධ්‍යම රාති‍්‍රයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර අතීතයේ සිට පවතින ද්වි පාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සබඳතා තවත් දීර්ඝ කාලයක් ඉදිරියට පවතින අයුරින් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය නායකයින් අවධාරණය කළහ.

පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා තමාගේ හොඳ මිතුරෙකු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ශී‍්‍ර ලංකාවට සහ තමාට ලැබුණු මිත‍්‍රශීලී සහයෝගය ද සිහිපත් කළ අතර පසුගිය යුද සමයේ දී මෙන්ම ආපදා අවස්ථාවලදී ද අවංක මිතුරෙකු ලෙස පාකිස්ථානය ශී‍්‍ර ලංකාවට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළේය.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේදී ද පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ප‍්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ගෑස් සහ ඛනිජතෙල් ක්ෂේත‍්‍රයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය සඳහා ද එක්ව කටයුතු කිරීමට නායකයින් එකඟවූ අතර ආරක්ෂක කටයුතු පිළිබඳව දෙරට අතර පවතින සහයෝගය ඒ අයුරින් ඉදිරියට පවත්වාගෙන යාමට ද සහතික වූහ.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන නව අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා මෙහිදී ජනාධිපතිතුමා හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *