පොත් කියවන දරුදැරියන්ට විදෙස් ශිෂ්‍යත්ව – අධ්‍යාපන ඇමති

(කොළඹ, ලංකාපුවත්) –පොත් කියවනු ලබන දරුදැරියන් ඇගයීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමසම්බන්ධයෙන් අද(24) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සමාරම්භක ජාතික වැඩසටහන අමතමිනි.

වැඩිවශයෙන් පොත් කියවන දරුවන්ට පදක්කම් ලබාදී ඇගයීමට ලක් කරන අතර ඉහළම පොත් ප්‍රමාණයක් කියවන දරුවන්ට විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම හෝ වෙනත් එවැනි දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන් මේවනවිට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කිසිදු වසරක නොකළ ආකාරයට රුපියල් මිලියන 700ක මුදලක් වැය කරමින් පාසැල් දරුවන්ට කියවීමට පොත් ලබාදුන් බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා, එම ස්ථානයේ සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබාදෙමින් සඳහන් කළේ මේ වසරේදී ද ඉතුරු වන මුදලින් දරුවන්ට කියවීම සඳහා පොත් ලබාදෙන ලෙසයි.එම මුදල්වලින් වෙනත් සම්පත් ලබාගැනීමට වඩා දරුවන් කියවීමට හුරු කිරීම වඩාත් වැදගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ තනි මතයට අනුව නොවන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා ඇඳුම් නිර්මාණය කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියන් දෙදෙනෙකු බව පැවසීය.

සමාරම්භක වැඩසටහන අමතමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වනවිට සිදුවන සුවිශේෂී වෙනස් කම් ඉතිහාසය තුළ කිසි දිනෙක සිදු නොවූ බවයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ මානව සම්පත සම්බන්ධයෙන් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දක්වන කැපවීම එහිදී සුනිල් හෙට්ටිආරච්චි මහතා පැසසුමට ලක් කරන ලදි.

ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබූ අතර ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට කටයුතු කරනු ලැබීය.

පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිවේ.

ඒ අනුව අද සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *