මත්ද්‍රව්‍ය වැටලීම් සාර්ථකත්වයට හේතුවක් අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පොලිසිය ඇතුළු ස්වාධීන කොමිසන් සභා පත් කිරීම හේතුවෙන් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට හැකි වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බුලත්සිංහල ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ(25) එක්වෙමින්ය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඬලීමේ වැඩකටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බවත්, දැන් එය අඩපන කිරීමේ අරමුණින් 19 වන සංශෝධනයට පහර ගසන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

රජය ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරමින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා පොලිසිය ශක්තිමත් වූ බවත්, එහි ප්‍රතිඵල ලෙස 2017 වසරේ සිට 2019 දක්වා කාලය තුළ විශාලතම මත්ද්‍රව්‍යය තොග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පැවසූ වික්‍රමසිංහ මහතා අධිකරණයට සහ ස්වාධීන පොලිස් කොමිසමට පහර ගැසීමෙන් සිදු වන්නේ මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය අඩපන වී කුඩුකාරයන්ට නැවත හිස එසවීමට උදව් කිරීම බවත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *