අමෙරිකා රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

රාජ්‍ය ලේකම්වරයාගේ ආසියා – පැසිෆික් සංචාරයේ ශ්‍රී ලංකාව එක් ගමනාන්තයක් වේ. රාජ්‍ය ලේකම්වරයා ලබන 24වනදා සිට 30වනදා දක්වා ආසියා ශාන්තිකර කලාපයේ සංචාරය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

ඔහුගේ පළමු ගමනාත්තය වන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරයි. මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම එම චාරිකාවේ අරමුණ බව සදහන් වේ.

අනතුරුව, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹට ළගා වන්නේ සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙසය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනතාවට අමෙරිකා සහයෝගීතාවය පළ කිරීමට ඔහු අපේක්ෂා කරන බව සදහන් වේ.

අමෙරිකානු – ශ්‍රී ලංකා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉහළ දේශපාලන නායකයන් සමග නායකයන් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ සාකච්ජා කරනු ඇත. ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් ඔහු ජපානයේ ඔසාකා නගරය බලා පිටත්ව යන්නේ ජී-20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහාය.

මීට පෙර ශ්‍රී ලංකාවට අවසන් වරට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් පැමිණ ඇත්තේ 2015 වසරේ මැයි මාසයේ දී ය. ඒ ජෝන් කෙරී මහතා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *