මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, රාජ්‍ය ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස අද (12) රාජකාරි ආරම්භ කළේ ය.

ඊයේ(11) නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයට පැවරී ඇති කාර්යභාරයන් රැසක් ඇති බවත්, කැබිනට් අමාත්‍යවරයාගේ සහ ලේකම් වරයාගේ මඟ පෙන්වීම තම කාර්යයන් සාර්ථක කර ගැනීමට ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකුලව නිදහස් හා සාධාරණ මාධ්‍ය නිදහසක් ඇති කිරීම සඳහා කටයුතු කරන්නට තමා මෙහි දී බලාපොරොත්තු වන බවත් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ පෙරදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය
සකස් කිරීම සඳහා ද දායක වී ඇති ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරයකු වශයෙන් ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ලෙස ද මිට පෙර රාජකාරි සිදු කර ඇත.

රාජකාරි භාර ගැනීමේ අවස්ථාව සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *