කොරෝනාට මුහුණ දෙන්න පූර්ව සූදානම ප්‍රශංසනීයයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය මඟින් ශ්‍රී ලංකාවේ දී එල්ල වියහැකි අභියෝග කළමනාකරණයෙහි ලා ගෙන ඇති පූර්ව ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් දක්වන ලද පෙර සූදානම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කළේය.

මීට අදාළ ප්‍රවණතා වාර්තාකරණයේ දී වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඒ මහතා මාධ්‍යයෙන් හා සමාජ මාධ්‍ය ජාලාවලින් ඉල්ලීමක් කළ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින්, වර්තමාන තත්ත්වය කළමනාකරණය පිළිබඳ සියලුම පැතිකඩවල් සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ දිවයින පුරා සිටින අදාළ සෞඛ්‍ය බලධාරීන්ට නිකුත් කොට තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ, අගමැති කාර්යාලයේ, සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, විදේශ කටයුතු, ආගමන හා විගමන, තැපැල් සේවා, ධීවර හා ආපදා කළමනාකරණ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අදාළ වෙනත් නිලධාරීන් සමඟ ඊයේ (28) පැවති රැස්වීමක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම දුෂ්කර අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවට ඒමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සළසමින් චීන රජය විසින් ලබාදෙනු ලබන සහාය වෙනුවෙන් ඒ මහතා සිය ප්‍රශංසාව පුද කළේය. මෙම වෛද්‍යමය හදිසි අවස්ථාවට විසඳුම් සෙවීමෙහි ලා, දැඩි ප්‍රයත්නයක නියැලී සිටින චීන රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරස ආසාදනයට නිරාවරණය වී තිබිය හැකි මඟීන් වෙන්කර හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් අනුගමනය කරනු ලබමින් පවතින පියවර පිළිබඳ හා යම් සැකසහිත අවස්ථාවක දී කටයුතු කිරීමට කොළඹ දී හා පිට පළාත්වල දී ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාවල පවතින පෙර සූදානම පිළිබඳව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරුණු පැහැදිලි කළාය. මේ දක්වා ස්ථිර වශයෙන් හඳුනාගෙන ඇත්තේ එක් රෝගියෙකු පමණක් බවත්, එම චීන ජාතිකයා අංගොඩ පිහිටි බෝවන රෝග පිළිබඳ රෝහලේ දී සුවය ලබමින් සිටින බවත් අවධාරණය කරන ලදී. සංචාරය කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන්ට සීමා පැනවීමක් සිදුකොට නොමැති අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කල් ඇතිව මාර්ගස්ථ වීසා බලපත් ලබා ගන්නා ලෙස මෙහි පැමිණෙන සියලුම චීන ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ආගමන හා ගුවන් ගමන් බලධාරීන් සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව, අවශ්‍ය රෝග ලක්ෂණ පිරික්සීමේ ක්‍රම හඳුන්වා දී තිබේ.

දැනට වසා දමා පවතින වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුබසාධනය සඳහා පහසුකම් සැළසීම පිණිස, විදේශ සබඳතා අමාත්‍යාංශයේ උපදෙස් මත බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැංහයි හා ගුවැංෂු හි කොන්සල් ජනරාල් කාර්යාල මඟින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දී කරුණු පැහැදිලි කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ පවුල් 33 ක් වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කළ ඉල්ලීමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලැබෙතැයි අපේක්ෂා කෙරේ. මෙරටට පැමිණීමට අපේක්ෂා කරන චීනයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා වෙනත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම මඟින් ගුවන් ගමන් ගාස්තුවෙන් සියයට 50 ක වට්ටමක් ලබා දෙමින් ද පහසුකම් සළසා තිබේ. එයාර් චයිනා හා චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් මඟින් ද පිළිවෙලින් සියයට 45 ක හා සියයට 50 ක වට්ටම් ලබා දී තිබේ. තොරතුරු හා ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන, මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවික ඇමැති සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *