නව ස්ථාවර නියෝග එන අන්දම පිළිබද කථානායක කියයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පත විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බව කතානායක කරු ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි.

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග 1979 මැයි මස 01 සිට බලපැවැත් වේ. අවසන් වරට 1993 පෙබරවාරි 06 දිනට සංශෝධනය කිරිමෙන් පසු දසක තුනකට අධික කාලයක් එය භාවිත කෙරුණි.

කතානායක කළ ප්‍රකාශය – මෙම ස්ථාවර නියෝග කාලීන ව්‍යවස්ථායික අවශ්‍යතාවන්ට අනුකූලව යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එලෙසම පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන වෙලාවන්,ආංශික අධීක්ෂණ කාරක සභා,විද්‍යුත් ඡන්ද ක්‍රමය යනාදි වශයෙන් සිදුව තිබෙන හා සිදු කිරීමට නියමිත නවතාවයෙන් පවතින ස්ථාවර නියෝගවලට ස්ථාවර නියෝගවලට අන්තර්ගත විය යුතු බවත් අපගේ හැඟීමයි.

ලෝකයේ දැනට පවතින තත්ත්වයන් පිළිබඳව විවිධාකාර දේශීය විදේශීය විද්වතුන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කළ අඳහස් හා යෝජනා ද පසුගිය හත්වැනි පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් දීර්ඝව සාකච්ඡා කර ඉදිරිපත් කර තිබූ අඳහස් ද මැනවින් අධ්‍යයනය කර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන්, අමාත්‍ය චන්දිම වීරක්කොඩි,නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, මන්ත්‍රී විජිත හේරත්,මන්ත්‍රී ආනන්ද කුමාරසිරි,මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත මාගේ සභාපතීත්වයෙන් යුත් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් රැස්වීම් වාර දහයකදී පමණ ගැඹුරින් සළකා බැලුණා.

ඉන් අනතුරුව වර්තමාන අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්,ආචාර්ය විජයදාස රාජපක්ෂ,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, හිටපු කතානායක චමල් රාජපක්ෂ,යන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීතුමන්ලාගෙන් සමන්විත කමිටුව විසින් ද ඉදිරිපත් කළ නිර්දේශ ද තවත් අවස්ථා හතරක දී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර පැය ගණනක දීර්ඝ සාකච්ඡවකින් අනතුරුව ඉදිරිපත් වූ සියලු යෝජනා සහ සංශෝධන සැළකිල්ලට භාජනය කරමින් ඉතාමත්ම කැපවීමෙන් සකස් කරනු ලැබූ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අවසාන කෙටුම්පත භාෂ ත්‍රිත්වයෑන් ම සකස් කර සභාවේ පූර්ණ අවධානයට හැකි ඉක්මනින් ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ දී අනුමත කිරීමට හැකිවන පරිදි අද දින සභාගත කරන බව දන්වමි.

අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ලෙස පිළිගෙන තිබෙන මොහොතක සභාවේ කටයුතු අභිමානවත් ලෙස නීතිගරුකව අදට ගැළපෙන ආකාරයට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය මෙම යෝජිත ස්ථාවර නියෝග හොඳින් කියවා බලා,තවදුරටත් අධ්‍යයනය කර ඒවා සම්බන්ධයෙන් අඳහස් යෝජනා සංශෝධන තිබේ නම් 2017 ජුනි මස 21ක් වන බදාදා හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ලිඛිතව බාරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමි.
යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත පිළිබඳ පොදු සාකච්ඡාවක් පැවැත්වීමට ගරු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් 2017 ජුනි මස 22 වන දින පැය දෙකක කාලයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පත මෙම සභාවේ විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *