රුධිර පරීක්ෂණයේදී රජය අඩුකළ ගාස්තු ජනතාවට ලැබේදැයි සොයා බැලේ

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාර වල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තු ඊයේ(19) සිට අඩු කර ඇති බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට නිසි අයුරින් ලැබෙනවා ද යන්න සොයාබැලීම සදහා විමර්ශණයක් සිදූ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දීමක් කර ඇත.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් විසින් විමර්ශණයක් සිදූ කර අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතය.

එසේම මෙම මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදෙන පෞද්ගලික රෝහල් සහ රසායනාගාර පිළිබද නීතිමය පියවර ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදූ කිරීමට සිදූව ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන ලදි.

පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදූ කළ අතර එය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ලෙස ද, ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටි.

මීට පෙර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් 3000 ක් පමණ විය.

රුධිර පරීක්ෂණ වාර්තා පැය බාගයක් තුල රෝගියාට ලබාදිය යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *