අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට අතිවිශාල ජනකායක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (07) රාත්‍රියේ වීථි සංචාරය කළේය.

ශ්‍රී ලාංකිකයින්ගේත් ලෝකවාසී බෞද්ධයන්ගේත් ගෞරවාදරයට පත් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය දැකබලා ගැනීමට ඊයේ මහනුවර නගරයට අතිවිශාල ජනකායක් එක්රැස්ව සිටියහ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහර ඊයේ රාත්‍රී 7.53 ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව වීථි සංචාරය ආරම්භ කළේය.

අවසන් මහා රන්දෝලි පෙරහැරේ සදාතුක කරඩුව වැඩම කරවීමේ භාග්‍යය හිමිවූයේ දළඳා මාලිගාවේ ඉන්දිරාජා හස්තියාටය.

උඩරටට ආවේණික ගායන, වාදන හා නර්තන ශිල්පීන් දහසකට අධික පිරිසකගේ දායකත්වය මෙවරත් පෙරහැර සඳහා හිමිව තිබුණි.

අලි ඇතුන් 80කගේ පමණ සහභාගීත්වයෙන් පුරා රාත්‍රී දහයක් මහනුවර නගරයේ සියලු වීථි ආවරණය වන පරිදි සංචාරය කෙරුණු හෙලයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර යටිනුවර වීථිය, කන්දෙ වීථිය, ඩී එස් සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජ වීථියෙන් ඉහළට පැමිණ මාළිගාවට ගෙවදුණි. අනතුරුව අලුයම 1.15 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහර සිව් දේවාලයන්හි පෙරහර සමග පිටත්ව දළදා වීථිය, ඞී එස් සේනානායක වීථිය ඔස්සේ ගොස් දළදා කරඩුව ගෙඩිගේ විහාරයේ සිරිත් පරිදි තැන්පත් කෙරුණි.

අද(08) උදෑසන මහවැලි ගගේ ගැටඹේ තොටේ දී දිය කැපීමෙන් පසු දහවල් පෙරහැර පැවැත්වේ.

දියවඩන නිලමේ ප්‍රමුඛ සතර දේවාල බස්නායක නිලමේවරුන් පෙරහැර සාර්ථකව අවසන් කළ බව සඳහන් සන්දේශය ජනාධිපතිතුමාට භාරදීමේ සම්ප්‍රදායානුකූල චාරිත්‍රය සිදු කිරීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත් කෙරේ.

පෙරහැර විචිත්‍රවත් කිරීම සදහා දායකත්වය ලබා දුන් ශිල්පීන් 115 දෙනෙකු සදහා ජනාධිපතිතුමා අතින් සම්මාන සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම මහනුවර ජනපති මැදුරේ දී අද පැවැත්වෙන පෙරහැර සමාප්ති උත්සවයේ දී සිදුකිරීමට නියමිතය.

පෙරහැර මංගල්‍යය සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සාම්ප්‍රදායික කලාවන් රැකගැනීමට කැපවූ අති විශිෂ්ඨ කලාකරුවන් පස්දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මානයට පාත්‍ර වීමට ද නියමිතය. මෙම සම්මානය හිමිවන්නේ ජීවිතයේ එක්වරක් පමණක් වීම විශේෂත්වයකි.

වසර ගණනක් අඛන්ඩව පෙරහැර සදහා සහභාගී වූ වයෝවෘද්ධ කලාකරුවන් දසදෙනෙකුට ද මෙවර ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමීමට සූදානම්කර තිබේ. දළදා මාලිගාව හා සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් 50 දෙනෙකුට හා කුසලතා පූර්ණ ශිල්පීන් 50දෙනෙකුට ජනාධිපති සම්මාන සමග මුදල් ත්‍යාග පිරිනැමීම ද මෙම උත්සවයේ දී සිදු කෙරේ. මීට අමතරව දක්ෂතම නර්තන කණ්ඩායම් 20ක් තෝරා ඇගයීමට ලක්කිරීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *