එල්.ටී.ටී.ඊ. රත්රන් කැණීමට ජලයෙන් බාධා

(කොළඹ, ලංකාපුවත්) – එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්තරන් තොගයක් වළලා ඇති බවට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ ඊයේ (06) සිට කැණීම් ආරම්භ කොට ඇතත් හෑරීමට පටන් ගත් වළ තුලට ජලය පිරීම නිසා ආරක්ෂක අංශ දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මුලතිව් පොලීසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන සෙසු ආරක්ෂක අංශ නිලධාරීන් දැණුවත් කොට මෙම කැණීම් කටයුතු ආරම්භ කොට තිබෙන බව සදහන්ය.

මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතාගේ නිරීක්ෂණය මත මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

මේ වසරේ ගතවූ කාලය තුල අවස්ථා තුනකදීද පසුගිය වර්ෂයේ අවස්ථා හයකදීද මේ අන්දමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළලා ඇතැයි කියන රත්තරන් සොයමින් ආරක්ෂක අංශ කැණීම් කරන ලද නමුත් ඒ කිසිදු ස්ථානයකින් රත්ත්රන් හමු වූයේ නැත.

මීට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපා ඇති බව පවසන මුලතිව් යුද හමුදා නිලධාරීන් ඉන් ප්‍රධාන කරුණ වන්නේ එදා එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් රත්තරන් වළලන ලද අවස්ථාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ වූ භූමි සටහන් ((Land marks) මේ වන විට දක්නට නොවීම බව සදහන් කළේය.

අනෙක් කරුණ වන්නේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විවිධ හේතූන් නිසා අසත්‍ය තොරතුරු සැපයීම බවද යුද හමුදාව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *