අතු ලියලා මල් පිපෙන එජාපය දිනවීම පාක්ෂිකයන්ගේ වගකීමයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නියඟයට හසුවී ජලය නොමැතිව වියළී ගොස් තිබූ එක්සත් ජාතික පක්ෂය නැමැති වෘක්ෂයට 2015 දී ජලය ලබාදී ශක්තිමත් කිරීමෙන් එහි අතු ලියලා මල් පිපෙන බැවින් ඒ පළ නෙලා ගැනීම සඳහා එය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වගකීම බව ඊයේ (07)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අමතමිනි.

2020 දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ යුතු බවත්, ඒ ගමනේ සාර්ථක ප්‍රතිඵල ලබාගෙන 2025 දියුණු රටක් බවට මේ රට පරිවර්තනය කළ යුතුව තිබෙන බවත් අගමැතිවරයා කීය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂමයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂලකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මාතර, ගාල්ල, කළුතර සහ කොළඹ පැවැති අවසන් ප්‍රචාරක රැළි අමතා මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.

එක්සත් ජාතික පක්ෂය අවුරු 10 ක් විපක්ෂයේ සිටියා.

අපි නැවතත් බලයට පැමිණෙන්නේ නැති බව ඇතැමුන් සිතුවත් අපි නැවත බලයට පැමිණියා. 2015 දී මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලය ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂ යේ සිට අපි ආණ්ඩුව දක්වා ගෙන ආවා. අපි රටේ බොහේ ප්‍රශ්න විසඳා තිබෙනවා. තවත් බොහෝ දේ ඉටුකළ යුතුව තිබෙනවා. රැකියා ලබාදුන්නා වගේම තවත් පිරිසක් රැකියා බලාපොරොත්තු වෙනවා.

මේ සියල්ල වසර 02 කින් සිදු කිරීමට බැහැ. අපිට ආර්ථිකය ස්ථාවර කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා ලබාගත් ජයග්‍රහණය ආරක්ෂාා කර ගත යුතුයි. මෙම බලය තහවුරු කරනවාද නැතිනම් අපි ජයග්‍රහණය ආරක්ෂා කර ගන්නවා ද? නැත්නම් ජයග්‍රහණය අතහරිමින් පසු බසිනවා ද යන්න 2018 පෙබරවාරි 10 වැනිදා තීරණය කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය වසර 10 ක් විපක්ෂයේ සිටියේ වියළි කලාපයේ නියඟයට හසුවූ ගසක් පරිද්දෙනුයි. මේ ගස මැරී යනු ඇතැයි ඇතැමුන් කල්පනා කළා. නමුත් 2015 න් පසු අපේ ගසට නැවත පොහොර, වතුර ලැබී තිබෙනවා. දැන් එම ගසේ අතුරිකිලි දළුලමින් තිබෙනවා. තවත් වසර දෙකක් පමණ ගත වන විට මේ ගස මල් බරවී පළ දරනවා. අපි ගසේ ගෙඩි හට ගන්නට දෙනවා ද? ගස විනාශ කරනවාද? එක්සත් ජාතික පක්ෂ ය නැමැති ගස ආරක්ෂා කිරීමට පෙබරවාරි 10 වැනිදා ඔබේ ඡන්දය ලබාදෙන්න. අපි මේ රට ඉදිරියට ගෙන යනවා.

2020 දී ජයග්‍රහණය කරමින් 2025 දක්වා අපි ගමන් කළ යුතුයි. අප මේ ගමන ආරම්භ කළේ අතරමග නතරවීමට නොවෙයි. එම නිසා පෙබරවාරි 10 වැනිදා ඔබේ ඡන්දය අපේ පක්ෂුයට ලබාදෙමින් ඔබේ නැදෑ හිතමිතුරන්ටත් එම පණිවුඩය ලබාදෙමින් රටේ ආණ්ඩුව මෙන්ම ගමේ ආණ්ඩුවත් අපට ලබාදෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *