‘ෂාරියා සරසවිය’ වහාම රජයට – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි. ඒ නිසා නැගෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අරලියගහ මන්දිරයේදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා වෘත්තිය සමිති නායකයින් සමඟ ඊයේ (11) පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

එසේම අප්‍රේල් 21දා සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත්, එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බවත් අගමැතිවරයා තවදුරටත් පැවසීය.

“අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවිම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයන් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරීමට උපදෙස් දී ඇති බවත් මෙහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේය.

“නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේදී කර තිබූ ප්‍රකාශ රජය තරයේ හෙළා දකිනවා. ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතුයි. ඒවායින් සිදු වන්නේ විශාල හානියක්. කටයුතු කළ යුත්තේ ශ්‍රි ලාංකිකයන් වශයෙන්”යැයිද හෙතෙම පැවසීය.

ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා රජය විසින් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට යන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය. “මේ සිදුවීමෙන් පස්සේ අපිට මුහුණු දෙන්න සිදුවුණා ජාතිවාදී ප්‍රශ්න ගණනාවකට. කුලියාපිටියේ සිදුවීමට සම්බන්ධ වූ පිරිස් ගැන අපි විභාග කරගෙන යනවා, ඉන්පස්සේ දළදා මාළිගාව ඉදිරිපිට තවත් විශාල සිදුවීමක් වුණා. මෙහිදී සිංහල-දමිළ අය එකතුවෙලා මුස්ලිම් අය වෙන් කිරීමක් සිදු වුණා. එම සිදුවීම ගැන බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණා, කෙසේ වෙතත් අපි ක්‍රියා කරන්නේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ ගැන වැඩිදුරටත් සංඝායා වහන්සේලා සමගත් අන්‍යාගමික පූජකවරුත් සමගත් කථාකරලා තියනවා. ඒ අය යෝජනා කරන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා, අද හැන්දෑවෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න නියමිතයි.

“අද දේශපාලඥයින් ගැන ජනතාව කළකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොඳ නැහැ, එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලඥයින් ගැන කළකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි. එය නැති කිරීමට අප වැඩ කළ යුතුයි.” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *