(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු මත සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අරජුන් ඇලෝසියස් ඇතුලු 10දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 06දා වරෙන්තු නිකුත් කර පැය 48ක් ගත වී ඇතත් මේ වනතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සමත් වී නැත.
මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පෙරවරුවේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නඩුඩ පවතින කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට සිය නීතිඥවරුන් මාර්ගයෙන් භාර වීමට නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් කෝටි 5200ට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලැදැයි කියන චෝදනාවකට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු මහ බැංකු අධිපති අර්ජන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අරජුන් ඇලෝසියස් අතුළු සැකකරුවන් 10දෙනකුට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කර ඇත.
ඉකුත් 7 දා වරෙන්තු ලැබ සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රහස් පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. තෙවන දිනටත් ඊයේ (9) පෙරවරුවේ එම නිලධාරීන් රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල, රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් පරීක්ෂා කළ ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට සමත් වී නැත.
පසුගිය දෙදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය ද ඔහු එම නිවසේ නොසිටි බව වාර්තා වු අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝෂියස් මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන් ද එම නිවෙස්වල නොමැති බවට ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවල දී තහවරු වී ඇත.
මේ අතර යහපාලන රජය සමයේ සිදුවූ මහබැංකු මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇත. ඔහු රැඳී සිටිනු ඇතැයි සැකකරන ලද ස්ථාන හයක් ඊයේ (09) දින පරීක්ෂාවට ලක්කර තිබේ.
ඒ අතර බත්තරමුල්ල රජමල්වත්ත නිවසද, කොල්ලුපිටිය සුපිරි මහල් නිවසද සහ රවී කරුණානායකගේ සමීපතමයන් කිහිපදෙනෙකුගේ නිවෙස්ද පරීක්ෂාවට ලක්කර තිබේ.
රවී කරුණානායක ඇතළු 10 දෙනා අත්අඩංගුවට ගැනීම පිණිස කොටුව අධිකරණයෙන් වරෙන්තු නිකුත්වී දින තුනක කාලයක් ගත වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට අපොහොසත් වුවද මුළු රටම පීරා හෝ ඔහු ඉදිරි පැය 24 තුළ අත්අඩංගුවට ගන්නා බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
මේ අතර රවී කරුණානායක මහතාට ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ එනම් අධිකරණ අවසරයකින් තොරව පරීක්ෂාකිරීමට නොහැකි ආරක්ෂාව ලැබී සිටින්නට ඉඩ ඇතැයි යන්න තරයේ විශ්වාස කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් පොලිසියෙන් බේරී අද දින ඔහු නීතිඥයකු මඟින් අධිකරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩ ඇතිබවට විශ්වාස කෙරේ. රවී කරුණානායක මහතාට අමතරව සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ඒ ආකාරයෙන්ම සිදුවේ.